මේ ජාතියේ ගෑණු ළමයෙක්ව නං… අම්මෝ එපා! – Saru News Media

0
12

දැන් මේ ලෝකෙ ගන්ඩකො. මේ ලෝකෙ ගෝලාකාරයි, ඒකෙ ඉන්න මිනිස්සු විවිධාකාරයි. එතකොට ඔය මිනිස්සුන්ගේ විවිධත්වයට ආයෙ ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ. කොහොම ගත්තත් විවිධයි. එතකොට අපි ගෑණු ළමයෙක් එක්ක හරි පිරිමි ළමයෙක් එක්ක හරි යාළුවෙන්න හදනවා නම්, මූලිකවම තේරුම් ගන්න ඕන මේ කියන විවිධත්වය ගැන. හැබැයි ඉතින් එහෙම විවිධත්වයක් තියෙනවා කියලා තේරුම් ගත්තට මදි. තමන්ට, තමන්ගේ විදියට ගැලපෙන කෙනෙක්ව යාළුවෙන්න තෝරගන්නත් ඕන. හැබැයි දැන් මිනිස්සු විවිධාකාරයි කිව්වට, සමහර ගැහැණු සහ පිරිමි ඉන්නවා, පොදුවේ ජීවත් වෙන්න සෑහෙන්න අමාරු තාලේ අය. ගොඩක් වෙලාවට එහෙම කෙනෙක් එක්ක යාළු වුණාට පස්සේ සිද්ධ වෙන්නේ තමන්ටත් හානි වෙලා, එයාටත් හානි කරලා, අන්තිමට ලව් ඉලව් වෙලා තමයි සම්බන්ධේ නවතින්නේ. ආන්න එහෙම නොවෙන්න නම්, මේ ජාතියේ ගැහැණු උදවිය සහ පිරිමි උදවිය එක්ක යාළු නොවෙන එක තමන්ගේ ඇඟට ගුණයි. අපි මුලින් කතා කරමු යාළු වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන ගැහැණු ළමයි ටයිප් කීපයක්. ඊලඟ දවසේ අපි එනවා යාළු වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන පිරිමි ළමයි ටයිප් කීපයක් එක්ක!

මේ කියන්නේ ලෝකේ මැද තියෙන්නේ තමන් හිටගෙන ඉන්න තැන කියලා හිතාගෙන ඉන්න, ලෝකේ කැරකෙන්නේ තමන් වටේ කියලා හිතාගෙන ඉන්න ගෑණු ළමයි ගැන. ගොඩක් වෙලාවට මේ විදියේ ගෑණු ළමයි තමන්ගේ පාට්නර්ගේ විතරක් නෙවෙයි, අවට ඉන්න හැමෝගෙම සම්පූර්ණ අවධානය තමන් වෙතට එල්ල වෙන්න ඕන කියලා ඩිමාන්ඩ් කරනවා. එතකොට, තමන්ට කුමාරිකාවකට විදියට සැලකිලි ලැබෙන්න ඕන කියලත් ඩිමාන්ඩ් කරනවා. හැබැයි එයා අනික් කෙනාට ඒ අවධානය පොඩ්ඩක්වත් දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට මේ විදියේ ගෑණු ළමයෙක්ගේ සම්පූර්ණ අවධානයත් යොමු වෙන්නේ තමන් වෙතටම තමයි. මෙහෙම ගෑණු ළමයි හුරු වෙලා ඉන්නේ තමන්ට ඕන වෙන්නේ මොනවද, ඒ දේ කොහොමහරි අනික් කෙනාට බලකරලා ලබාගන්න. එතනදී අනික් කෙනාගේ තත්වය මේ ලෝකේ මැද මං කෙල්ලොන්ට වැදගත් වෙන්නෙම නෑ.

මේ කියන්නේ ගෝල්ඩ් ඩිගර්ස්ලා ගැනම නෙවෙයි. එහෙම තමන්ට සම්පූර්ණයෙන්ම පිරිමියා තමයි වියදම් කරන්නේ කියන එක ගැන දෙන්නම එකඟතාවයක ඉන්නවා නම් කිසිම ගැටළුවක් නෑ. එතකොට තමන් ආදරය කරන කෙල්ල වෙනුවෙන් පිරිමියා ආසාවෙන් වියදම් කරනවා නම්, ඒකෙත් කිසිම ගැටළුවක් නෑ. හැබැයි අපි මේ කියන්නේ පිරිමියාගේ දත ගලවන්නම යාළු වෙන විදියේ කෙල්ලෝ, එහෙම නැතිනම් ආදරේ හින්දා යාළු වුණත් පිරිමියාගේ ආර්ථික තත්වය, පිරිමියාගේ ප්‍රශ්න ගැන කිසිම සංවේදීකමක් නැතුව දත ගලවන, පිරිමියා ඒ විදියට තමන් වෙනුවෙන් වියදම් කරන්න ඕන කියලා හිතාගෙන ඉන්න “සල්ලි තමයි ඕනා” කෙල්ලෝ ගැන. එහෙම කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ ඉතින් ඉතාම ඉක්මනටම කොල්ලට හොම්බෙන් යන්න සිද්ධ වෙන්න තියෙන අවස්ථාව ඉතාම වැඩියි.

මේකත් ඉතින් කෙල්ලන්ට විතරක් නෙවෙයි, කොල්ලන්ටත් අදාළයි. ඒත් අද අපි කතා කරන්නේ කෙල්ලෝ ගැන නිසා, අපි ඒ පැත්ත ගැන විතරක් අවධානය යොමු කරනවා. දැන් ඔය ඉරිසියාව කියන්නේ මනුෂ්‍ය හැඟීමක්නේ. එතකොට ඕනම කෙනෙක්ගේ ඇතුළේ අඩු වැඩි වශයෙන් ඉරිසියා හැඟීම් තියෙන්න පුලුවන්. උදාහරණයක් විදියට, තමන්ගේ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක වැඩිපුර කතාබහ කරනවා නම් ඔන්න කෙල්ලට ටිකක් ඉරිසියා හිතෙනවා. හැබැයි මේ ඉරිසියාව ස්වභාවිකයි. ඒත් ස්වභාවික නොවෙන ඉරිසියාවත් තියෙනවා. ඔන්න පළවෙනි දවසේ ඉඳලා කොල්ලගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ව පෙන්නන්න බෑ, ඉරිසියාව නිසා. කොල්ලගේ ගෙදර අයට කොල්ලා අවධානය දෙනවට කැමති නෑ, ඉරිසියාව නිසා. ඒ විතරක් නෙවෙයි, කොල්ලගේ ජීවිතේ ඉන්න අනික් මිනිස්සු, පවුලේ අය එක්ක කොල්ලා බිඳවන්නත් මේ කෙල්ල ට්‍රයි කරනවා, ඉරිසියාව නිසා. තමන් එක්ක ඉන්නකොට කොල්ලට ඔෆිස් කෝල් එකක් කෙල්ලෙක්ගෙන් ආවත් තුන්වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නවා, ඉරිසියාව නිසා. අන්න ඒ විදියේ අසාමාන්‍ය ඉරිසියාවක් තියෙන ගෑණු ළමයෙක් එක්ක දීග කන එක නම් ඉතින් සාර්ථක වෙන්නෙ නෑ!

මේ විදියේ ගෑණු ළමයි සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ජජ් කරගෙන, මුළු ලෝකෙම විවේචනය කරගෙන තමයි ඉන්නේ. එතකොට තමන් එක්ක යාළු වෙන කොල්ලටත් ඒකෙන් ගැලවීමක් නැහැ. කොල්ලා රස්සාව කරන විදියේ ඉඳලා, රෑට නිදාගන්න විදිය දක්වා මේ විදියේ ගෑණු ළමයෙක්ගේ විවේචනයට බඳුන් වෙනවා. මුලින් මුලින් මට ආදරේ නිසානේ කියලා හිත හදාගත්තත්, ඉක්මනටම මේ හැමදේම විවේචනය කිරීම වාතයක් බවට පත් වෙනවා. දැන් දෙන්නෙක් ආදර සම්බන්ධයක් පටන් ගත්තහම, එක්කෙනෙක්ගේ වැරැද්දක්, එක්කෙනෙක් ජීවත් වෙන විදියේ ගැටළුවක් අනික් කෙනා දැක්කොත්, ඒක ආදරෙන් කියලා, දෙන්නා සාකච්ඡා කරලා නිවැරදි කරගන්න පුලුවන්. හැබැයි එහෙම නැතුව හැරුණත් විවේචනය කරන්න යන එකෙන් වෙන්නේ අනික් කෙනාට තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය සහ ආත්ම සම්මානය නැති වෙන එක සහ සම්බන්ධතාවයම එපා වෙන එක තමයි.

මේ කියන්නේ ලෝකේ යතාර්ථය ගැන මෙලෝ අවබෝධයක් නැතුව, සිහින ලෝකේ පාවී පාවී ඉන්න ගෑණු ළමයි ගැන. මේ විදියේ පිරිමි ළමයිනුත් ඉන්නවා, නැතුව නෙවෙයි. හැබැයි අද අපි කතා කරන්නේ ගෑණු ළමයි නිසා සිහින ලොවේ පාවෙන කෙල්ලෝ ගැන විතරයි කතා කරන්නේ. ඇත්තටම මෙහෙම ගෑණු ළමයෙක් සාමාන්‍යයෙන් ගැටළුවක් නෑ. විශේෂයෙන්ම එයාව රැකබලාගන්න විදියේ පිරිමියෙක් එක්ක එයාට ලස්සනට ඉන්න බැරි කමක් නෑ. හැබැයි ගැටළුව මේකයි. ජීවිතේ කියන්නේ සේද පිළි වලිනුයි අයිසින් කඳු වලිනුයි හැදුණු දෙයක් නෙවෙයි. ජීවිතේ හැලහැප්පීම් එනවා, අමාරු කාල එනවා. විශේෂයෙන්ම දෙන්නත් එක්ක ජීවිතේ ගෙවන කොට දුෂ්කර කාල වලට දෙන්නත් එක්ක එකටම මුහුණ දෙන්න වෙනවා. අන්න එහෙම වෙනකොට මේ විදියේ සිහින ලෝකේ ඉන්න ගෑණු ළමයෙක් වුණත් ක්ෂණයකින් පරිණත වෙලා ජීවිතේ ශක්තිමත්ව බෙදාගන්නත් පුලුවන්. හැබැයි එහෙම නැතුව අර සිහින ලෝකෙම පාවී පාවී ඉන්න ගමන්, තමන්ගේ ජීවිතේ වගකීමවත් ගන්නෙ නැතුව අඬ අඬ ඉන්නවා නම්, එහෙම ගැහැණු ළමයෙක් එක්ක ජීවිතේ ඉදිරියට යන්න නම් අමාරු වෙයි.

මොකක්ද ඔය මයික්‍රොමැනේජින් කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි තැනක හරි දේක හැමදෙයක්ම කළමනාකරණය කරන්න, පාලනය කරන්න යන එක. ඒ කියන්නේ උදාහරණයකට ඔෆිස් එකක මයික්‍රොමැනේජ් කරන බොස් කෙනෙක් කියන්නේ, එයාට පහළ ඉන්න අය හැමෝම කරන කියන දේ පාලනය කරනවා කියන එක. උදාහරණයක් විදියට, මයික්‍රොමැනේජ් කරන බොස් කෙනෙක් කුස්සියේ තේ හැදෙන කොලිටියත් එතනට ගිහින් හොයනවා. ඔෆිස් එකේ දේවල් පාලනයට තමන්ට පහළින් කළමනාකරුවෝ හිටියත්, ඒ අයට ඉඩක් දෙන්නෙ නැතුව ඒ කළමනාකරුවන්ව බයිපාස් කරලා, ඒ අය යටතේ ඉන්න අයවත් පාලනය කරන්න යනවා. දැන් ඕකම පොදුවේ ජීවිතේ සම්බන්ධයෙනුත් කරන අය ඉන්නවා. ඒ විදියේ ගෑණු ළමයෙක් සම්බන්ධතාවයක ගියාට පස්සේ තමන්ගේ කොල්ලා කරන කියන හැමදේම පාලනය කරන්න පටන් ගන්නවා. කොල්ලා කන්න බොන්න ඕන දේවල් වල ඉඳලා, කොල්ලා තමන්ගේ ඔෆිස් එකේ රාජකාරි කරන විදියත් මේ ගෑණු ළමයා පාලනය කරන්න යනවා. ඒ හැමදේකටම තමන්ගේ ඔපපීනියන් එක දෙන්න යනවා. එතකොට වෙන්නේ අර කොල්ලට රූකඩයක් වගේ වෙන්න. කොල්ලට තමන්ගේ ජීවිතේ කිසිම දෙයක් සම්බන්ධයෙන් පාලනයක් නැති වෙන එකයි වෙන්නේ.

දැන් ෆෙමිසිස්ම් නැතිනම් ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් සියළුම ලිංගික සමාජ භාවයන් නැතිනම් ජෙන්ඩර්ස් සමානයි කියන එක සහ සම අයිතිවාසිකම් හා සම අවස්ථා ලැබිය යුතුයි කියන එක. එතකොට ඒකේ නම ස්ත්‍රීවාදය වුණාට, ඇත්තටම ඒක කාන්තාවන් වගේම පිරිමිනුත් සවිඥාණික වෙන්න ඕන කාරණාවක්. හැබැයි ඔය අතරේ තියෙනවා පිස්සු ෆෙමිනිස්ම්. ඒ කියන්නේ සමහර කාන්තාවෝ ඉන්නවා තමන් ෆෙමිනිස්ට්ලා කියලා ආඩම්බරෙන් කියන ගමන්, ෆෙමිනිසම් කියලා ගන්නේ සම්පූර්ණයෙන්ම ඊනියා විකාර අදහස්. උදාහරණයක් විදියට සමහර කාන්තාවෝ පිරිමින්ව ප්‍රසිද්ධියේ බොඩිෂේම් කරනවා, ගැහැණු තමයි ලස්සනම කියලා කියාගෙන. තව කාන්තාවෝ ඉන්නවා තමන් ගෑණියෙක් නිසා තමන් කියන ඕනම දෙයක් අනික් අය පිළිගන්න ඕන, තමන්ට තැන දෙන්න ඕන කියලා කියන. ඉතින් ඔන්න ඔය විදියේ පිස්සු ෆෙමිනිස්ට් කෙනෙක් සෙට් වුණොත් ඉතින් අබ සරණයි තමයි. මේ සමහර පිස්සු ෆෙමිනිස්ට්ලා නං මාරම අවස්ථාවාදීයි. තමන් ස්වාධීනයි කියලා පම්පෝරි ගැහුවට, කොල්ලත් එක්ක ඩේට් එකකට ගියොත්, එදා වියදම් සම්පූර්ණයෙන්ම කොල්ලා දරන්න ඕන, ඒක තමයි මහත්මාකම කියලා ඩිමාන්ඩ් කරනවා. එහෙම වියදම සම්පූර්ණයෙන්ම කොල්ලා දරන්න හිතනවා නම් ඒක කිසිම ගැටළුවක් නෑ. හැබැයි ඒක තෝරාගැනීමක් මිසක් ඩිමාන්ඩ් කරන්න ඕන දෙයක් නෙවෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here