යටත්විජිත සමයේ සිංහලයා වෙනුවෙන් අභීතව සටන් කළ හිමිවරු – Saru News Media

0
5

ලංකාවේ ඉතිහාසය දෙස බලන කල බෞද්ධ ආගමට විශේෂ තැනක් හිමිවේ. වසර 2000කටත් එපිට කාලයේ සිට සිංහලයෝ බුදු දහමින් පෝෂණය වූ ජාතියක් වූහ. සිය ආගම ජාතිය වෙනුවෙන් කළ මහා වෙහෙර විහාර කර්මාන්ත අදටද අපිට ගෙන එන්නේ ආඩම්බරයකි. යටත්විජිත සමයේ පාලනය ඉංග්‍රීසින්ට නතු වුවද සිය දෙස බස ආගම රැකගන්නට බෞද්ධ හිමිවරුන් මූලිකත්වය ගත්හ. එයින් කිහිප නමක් ගැන අපි විස්තර ටිකක් දැනගනිමු.

 

ඉංගිරිසින් 1815 දී අත්සන් කළ උඩරට ගිවිසුම් අත්සන් කරන්නට යෙදුනේ කුමකටදැයි උඩරට සිංහල ලේ ඇත්තන්ට සැඟවිය නොහැකි විය. එහෙත් පැවති ශ්‍රී වික්‍රම රාජසිංහ වඩුග රජුගේ දුර්දාන්ත පාලනය හමුවේ අන්තයට කලකිරී සිටි සිංහල නායකයින් ඉංග්‍රීසින් නැමැති පිදුරු ගසේද එල්ලෙන්නට විය. එම අවස්ථාවේ උඩරට ගිවිසුම බලාත්මක වන්නටද මත්තෙන් ඉංගිරිසි කොඩිය ඔසවන්නට වූ අතර එයට එරෙහිව අභීත නද පෑ වාරියපොල හාමුදුරුවෝ ඉංගිරිසි කොඩිය බිම දමා ටික වේලාවකට හෝ සිංහ කොඩිය අහසේ ලෙලවන්නට දායක විය. උන්වහන්සේ ඉන් පසු 1818 දී සිංහල කැරළි නායකයින් වෙනුවෙන් අභීතව පෙනී සිටියේය. දන්ත ධාතුන් වහන්සේ මාලිගාවෙන් ඉවත් කර, නිදහස් සටනේ නායකයින් වෙත යොමු කිරීමේ වරද පිට වාරියපොල සුමංගල හාමුදුරුවන්ට සිරගත වන්නට සිදු විය.

 

කොළඹ පළාතේ පංසලක් නොතිබුණු කාලයක ක්‍රිස්තියානි පල්ලි වලට එදිරිව නැගී සිටි මොහොට්ටිවත්තේ හිමි කොළඹ නගර සීමාවේ මුල්ම පංසල වූ කොටහේන දීපදුත්තාරාමය පිහිටුවන්නට මූලික විය. බුදුදහමේ ඇති තර්කානුකූල බව පෙන්වන්නට ගුණානන්ද හිමි විදෙස් පොත පත පවා පරිශීලනය කළේය. ක්‍රිස්තියානියට එදිරිව උන්වහන්සේ සිදුකළ පංච මහා වාදයෙන් පැහැදුණු හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි දැවැන්ත චරිත ලංකාව සොයා එන්නට විය. ගුණානන්ද හිමි යනු බොදු හඬ යටපත්ව තිබූ කලෙක එය බෞද්ධයින්ට සොයා දෙන්නට ඇප කැප වූ හිමි නමකි.

 

ඉංගිරිසි බසත්, සිංහල බසත්, සියම් බසත් ආදී භාෂා කිහිපයක දක්ෂයකු වූ හික්කඩුවේ නාහිමි මුල් කාලයේ දක්ෂ භාෂා ප්‍රවීණයෙකු විය. උන් වහන්සේ විද්‍යෝදය, විද්‍යාලංකාර ආදී පිරිවෙන් පිහිටුවීමටත්, බෞද්ධ පාසැල් ඇති කිරීමටත් පුරෝගාමීව ක්‍රියාකළ චරිතයක් විය. 19වන සියවසේ අග භාගයේදී මෙරට ඇති වූ දේශීය ප්‍රබෝධයේ මූලිකම සලකුණක් ලෙස හික්කඩුවේ සුමංගල නාහිමියෝ දැක්විය හැකිය. උන්වහන්සේ ජාතික නියෝජිතයෙකු ලෙසද, උගතෙකු ලෙසද දෙස බස රැසට මෙන්ම බුදු දහමටද අමිල සේවයක් කළ හිමිපානන්වහන්සේ නමකි.

 

ඉන්දියාවේ හිමාල සීමාවේ පිහිටි සික්කිම් පළාතේ වැසියෙකු වූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි සිකිම් හි කලබල ආදිය නිසා ලංකාවට පැමිණියේය.

“කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්ගේ

උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ

ඉස් මොළ තිබෙද්දිත් මේ ගැන නොතකන්නේ

ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ”

ආදී ලෙස කවි ලියමින් නිදා සිටි සිංහලයින් ජාතික ආලයෙන් ඇහැරවන්නට විය. නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසද සේවය කළ මහින්ද හිමි, ළමා ගීත සහ කවි ලිවීමේද දක්ෂයෙකු විය. කෙසේ වෙතත් අප රටේ නොඉපදීත් දේශීයකම වෙනුවෙන් පෙනී සිටි එස්. මහින්ද හිමි නිර්භීත චරිතයක් විය.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here