රජයට හිස නොනැමූ ආන්දෝලනාත්මක විනිසුරුවරු – Saru News Media

0
12

ලංකාවේ උසාවි ක්‍රමය ගැන අපේ රටේ වගේම ලෝකය පුරාම තියෙන්නේ ගෞරවයක්. රජ කාලේ ඉතිහාසය ගත්තත් විධිමත් උසාවි ක්‍රමයක් ලංකාවේ තිබිලා තියෙනවා. රජතුමා සහ රාජසභාව තමයි යුක්තිය පසිඳලීමේ ඉහළම තැන විදිහට සලකලා තියෙන්නේ. වර්තමාන උසාවි ක්‍රමය ගත්තොත් ඉන්දියාවේ ස්ථාපනය වෙන්න කලින් ලංකාවේ උසාවි ස්ථාපනය කරන්න බ්‍රිතාන්‍යයන් කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා කලාපීයවත් අපේ රටේ උසාවි පද්ධතියට වැදගත් තැනක් හිමි වෙනවා. අධිකරණය ඇරුණම රටේ පැවැත්මට අදාළ වෙන අනිත් ව්‍යුහයන් දෙක වෙන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය. මේ ආයතන තුනේ බල තුලනය උඩ රටේ පැවැත්ම තීරණය වෙනවා. උදාහරණයක් විදිහට විධායකය සහ ව්‍යවස්ථාදායකය නීතියට එරෙහිව යමින් කටයුතු කරන අවස්ථාවලදි අධිකරණ නියෝග හරහා ඒවා නිවැරදි කරන්න හැකි වෙනවා. මේ හින්දා අපි හිතුවා ඒ වගේ රජයට හිස නොනැමූ විනිසුරුවරු කීපදෙනෙක් ගැන කතා කරන්න. මේ සමහර තීන්දු ආන්දෝලනාත්මක වීම නිසාම විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ විවේචනයටත් ලක් වුණා.

 

වික්ටර් තෙන්නකෝන් මහත්තයා අපේ රටේ නීතී ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක්. තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කළ කෙනෙක්. එතුමා නීතිපතිවරයා විදිහට කටයුතු කරද්දි එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහෝදරයා වුණු මැකී රත්වත්තේ මහතාට එරෙහිව අල්ලස් නඩුවක් පටලවන්න බලනවා. නමුත් වික්ටර් තෙන්නකෝන් මහතා දිගින් දිගටම එවැනි නඩු නිමිත්තක් නෑ කියලා නඩු පැවරීම ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ එ. ජා. ප ආණ්ඩුව කරන්නේ වික්ටර් තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට පත්වීමක් ලැබිලා ගියාම පත්වෙන නීතිපතිවරයා ලවා නඩුවක් පැවරීම. එහිදී අධිකරණය වික්ටර් තෙන්නකෝන් මහතාගේ මතයම දරමින් ඒ නඩුව නිශ්ප්‍රභා කරනවා. පස්සේ කාලෙක වික්ටර් තෙන්නකෝන් මහත්තයා අපේ රටේ අගවිනිසුරුවරයා බවටත් පත් වෙනවා.

 

නෙවිල් සමරකෝන් මහත්තයා ලංකාවේ අගවිනිසුරු විදිහට පත් වෙද්දි රටේ හැමෝම හිතන්නේ ලංකාවේ උසාවිය ජේ. ආර්ට යටත් වුණා කියලා. ජේ. ආර් වුණත් එහෙම හිතන්න ඇති. මොකද කියනවා නම් නෙවිල් සමරකෝන් මහත්තයා සාමාන්‍ය නීතීඥයෙක් වගේම ජේ. ආර්ගේ හිතවතෙක්. ඒක හින්දයි ජේ. ආර් සමරකෝන් මහත්තයව අගවිනිසුරු පුටුවේ ඉන්දවන්නේ. ඒත් ජේ. ආර්ගේ බලාපොරොත්තු කඩ කරමින් නෙවිල් සමරකෝන් මහත්තයා අතිශය ස්වාධීන තීන්දු ලබාදෙනවා. විශේෂයෙන්ම කලවාන අතුරු මැතිවරණය සම්බන්ධයෙන් එතුමා ලබාදෙන තීන්දු නිසා ජේ. ආර් ව්‍යවස්ථාවේ හිල්වලින් රිංගන්න හදන හැම අවස්ථාවක්ම වැලකෙනවා. තව දුරටත් නෙවිල් සමරකෝන් මහත්තයා එක්ක වැඩ කරන්න බෑ කියලා හිතන ජේ. ආර්, අගමැති ප්‍රේමදාස ලවා නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවා. ඒත් දෝෂාභියෝගයේ කටයුතු නිම වෙන්න කලින් නෙවිල් සමරකෝන් මහත්තයා විශ්‍රාම ගන්න නිසා ගැටලුවක් ඇති වෙන්නේ නෑ.

 

ඉන්දු ලංකා ගිවිසුම යටතේ 13 සංශෝධනය අපේ ව්‍යවස්ථාවට ආවා කියන එක අපි හැමෝම දන්න කාරණයක්. මේ වෙලාවෙදි මේ සංශෝධනය ව්‍යවස්ථානුකූලද කියල බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඒ සඳහා හිටපු විනිසුරු මඬුල්ල සමන්විත වුණේ අගවිනිසුරු සුප්පයියා ශර්වානන්ද මහතා ඇතුළු විනිශ්චයකාරවරු නම දෙනෙක්ගෙන්. අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරු පස් දෙනෙක් මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතුයි කියලා තීන්දු කළා. ඒත් රාජා වනසුන්දර ඇතුළු විනිශ්චයකාරවරු හතර දෙනෙක් මේ සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් වගේම ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා තීන්දු කළා. බහුතර තීන්දුව නිසා 13 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවෙන් විතරක් සම්මත කරන්න ජේ. ආර්ට පුළුවන් වුණා. ශර්වානන්ද මහත්තයා විශ්‍රාම ගියාට පස්සේ අගවිනිසුරු ධූරය ජ්‍යෙෂ්ටත්වය උඩ ලැබෙන්න තිබ්බේ රාජා වනසුන්දර මහත්තයට. ඒත් ජේ. ආර් හිතුවේ කලින් තීන්දුව ගැන හිතද්දි රාජා වනසුන්දර මහත්තයා තවත් නෙවිල් සමරකෝන් කෙනෙක් වෙයි කියලා. මේ හින්දා වනසුන්දර මහත්තයට තමන්ගේ නිවසට එන්න කියපු ජේ. ආර්, වනසුන්දර මහත්තයව අගවිනිසුරු විදිහට පත් කරන්න කැමැතියි, ඒත් තමන්ට දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් දෙන්න ඕන කිව්වා. රාජා වනසුන්දර මහතා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ප්‍රතිඵලය වුණේ රාජා වනසුන්දර මහතාට අගවිනිසුරු ධූරය අහිමි වීම.

 

ලංකාවේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් විශාලම සේවයක් කරපු විනිශ්චයකරුවෙක් විදිහටයි මාක් ප්‍රනාන්දු මහත්තයා සැලකෙන්නේ. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේදී ඒ රජයට විරුද්ධවත්, පොදු ජන එක්සත් පෙරමුණ රජය යටතේ ඒ රජයට විරුද්ධවත් මාක් ප්‍රනාන්දු මහත්තයා තීන්දු දුන්නා. එතුමාට අත් වුණෙත් රාජා වනසුන්දර මහතාට අත් වුණු ඉරණමම තමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජ්‍යෙෂ්ටත්වයෙන් ඉහළින් සිටි මාක් ප්‍රනාන්දු මහතා වෙනුවට සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා විදිහට පත් කළා. මාක් ප්‍රනාන්දු මහත්තයා පස්සෙ තමන්ගේ ධුර කාලයෙන් අවුරුදු එකහාමාරකට කලින් ධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේදි භික්ෂුන්වහන්සේ ඇතුළු සාමාන්‍ය ජනතාව ඒ තීරණයට විරුද්ධව අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. නමුත් එතුමා තමන්ගේ තීරණය වෙනස් කරන්නේ නෑ.

 

සරත් නන්ද ද සිල්වා කියන්නේ මේ රටේ ආන්දෝලනාත්මකම අගවිනිසුරුවරයා කිව්වොත් වරදක් නෑ. එතුමාගේ සමහර තීන්දු එවකට පැවැති රජයට පක්ෂපාත බවට විවිධ අයගෙන් චෝදනා එල්ල වුණා. නමුත් පස්සේ එතුමා දීපු තීන්දු ගැන ජනතාව ප්‍රසාදයෙනුත් කතා කළා. ඒ තීන්දු ලබා දුන්නෙ හැබැයි රජයට විරුද්ධව. එතුමාට දෝෂාභියෝගයක් ගේන්න උත්සාහ කළත් එය සාර්ථක වුණේ නෑ.

 

ලංකා ඉතිහාසයේ දෝෂාභියෝගයකින් ගෙදර යවපු එකම අගවිනිසුරුවරිය වුණේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය. ඒ සඳහා එවකට පැවති රජය විවිධ හේතු ඉදිරිපත් කළත් නීති ක්ෂේත්‍රයේ අය කිව්වේ “දිවි නැඟුම” පනත ගැන ඇය ලබාදුන්න තීන්දුව මේ දෝෂාභියෝගය ගේන්න හේතු වුණා කියලා. දෝෂාභියෝගයෙන් ඇයට ධුරය අහිමි වුණත්, පසුව ඒ දෝෂාභියෝගයේ තාක්ෂණික ගැටලුවක් පදනම් කරගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත ඇයව අගවිනිසුරු ධූරයට පත් කරනවා. නැවත තනතුරු බාරගන්න ඇය පසුදිනම විශ්‍රාම ගන්නේ නිදහස් අධිකරණ සේවාවකට ඇගේ ඇති කැපවීම පෙන්වමින්.

 

වර්තමාන අගවිනිසුරු නලීන් පෙරේරා මහත්තයා සැලකෙන්නේ දශක දෙක තුනකට පස්සේ අගවිනිසුරු ධූරයට පත් වුණු පළවෙනි වෘත්තීය විනිශ්චයකාරවරයා විදිහට. එතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අවුරුද්දේ අග භාගයෙදී “පාර්ලිමේන්තුව විසුරුවාහැරීම” වළක්වාලමින් සුවිශේෂී තීන්දුවක් ලබා දුන්නා. මේ තීන්දුවෙන් සෘජුවම විධායක ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක්වීම සිද්ධ වුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here