රට රටවලට ආවේණික සටන් කලාවන් – Saru News Media

0
6

සටනක් කියල කියන්නෙ මොකක් හරි හේතුවක් නිසා දෙපාර්ශවයක් අතරේ කරන රණ්ඩුවක්, අතින් පයින් කරන ගුටිබැට හුවමාරුවක් වගේ දෙයක්නේ. ඒක ඉතින් අපි කවුරුත් දන්නවනේ. ලෝකෙ ජනාවාස ආරම්භ වෙන මුල් කාලෙ ඉඳලම නොයෙකුත් දේවල් නිසා මිනිස්සු මේ සටන් කියන දේවල් වලට පෙළඹිලා තියෙනවා. ඒ හරහා එක එක සටන් කලාවන් බිහිවෙලා තියෙනවා. ඒත් ඉතින් මෙහෙම රණ්ඩුවක් කරන ක්‍රමයකට ඇයි අපි කලාවක් කියන්නෙ කියල හිතල නැද්ද? ඒ මෙන්න මේ නිසයි. සටනක් කරන්නේ හැම වෙලාවකම යහපත් චේතනාවකින්ම නොවුනට සටන් කරන ක්‍රමවේදයක්, ඒ කියන්නෙ සටන් ශිල්ප ක්‍රමයක් කියන්නෙ මේ වැඩේ කරගන්න, ඒ කිව්වෙ ගහගන්න හැටි උගන්නන විදිහක්ම විතරක් නෙමෙයි, ආත්මාරක්ෂාවට වගේම පෞරුෂ වර්ධනයට සහ ශරීර සෞඛ්‍යය කියන හුඟක් කාරණා වලට උදව් වෙන ශිල්ප ක්‍රමයක් තමයි සටන් කලාවක් කියන්නෙ. මුල්ම කාලෙ දෙපිලක් බෙදිල ගහමරාගන්න ඕනකමටම හොයාගත්තට පසුකාලීනව එක එක අංගයන් එකතු වීම නිසා මේ සටන් ශිල්ප ක්‍රම හුඟක්දෙනෙක් හදාරන ක්‍රීඩාවන් තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒකයි මේ ගහගැනිල්ලට උනත් අපි කලාවක් කියල කියන්නෙ. හරියට ඉගෙන ගන්නවනම් ඒකත් ලස්සන කලාවක් තමයි ඇත්තටම. ඉතින් අපි හිතුව මේ ජනප්‍රිය සටන් කලාවන් ගැන ටිකක් කතා කරන්න.

මේ ලිපියෙන් අපි ලෝකෙ පුරා ජනප්‍රිය සටන් කලාවන් ගැන කෙටි හැඳින්වීමක් කරනවා. ඒ හැම සටන් කලාවක් ගැනම වැඩිදුර විස්තර ඉස්සරහට කතා කරමු. 

 

ලංකාවේ අපිටනම් බොහොම අහල පුරුදු නමක්නෙ අංගම්පොර කියල කියන්නෙ. ලෝකේ එච්චරම ප්‍රසිද්ධ නැති උනත් මේ සටන් කලාවේ සුවිශේෂීබව නිසාම දැන් දැන් හුඟ දෙනෙක් මේ ගැන හොයන්න පටන් අරන්. ග්‍රාමීයව සැඟවිලා තිබුණ අංගම්පොර කලාව ටික ටික එලියට එන කාලයක් මේක. මේ අංගම්පොර කලාව රාම, රාවණා යුධ සමයේ ඉඳලම පැවතුණ බොහෝම පැරණි ඉතිහාසයක් තියෙන සටන් කලාවක් බවයි සැලකෙන්නෙ. කොහොම උනත් මේ අංගම්පොර ඉගැන්නිල්ලයි, ඉගෙන ගැනිල්ලයි ආවට ගියාටනම් කරන්න බැහැ. මේ සටන් ක්‍රමය උගන්නන වෙනම ගුරුකුල හිටිය වගේම ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේත් කුල මල, හඳහන් වගේ විස්තර ඔක්කොම පරීක්ෂා කරලා තමයි ඉගැන්නිල්ලට බාර ගැනුණේ. අතින් පයින් ගහගන්න එකට අමතරව මනස සම්බන්ධ කරගෙන කරන ලොකු වැඩ කොටසකුත් මේ අංගම්පොර කලාවේ ඇතුළත්. 

 

කලාරි එහෙමත් නැත්තම් කලාරිපායට්ටු කියල කියන්නේ ඉන්දියාවේ ජනප්‍රියම සටන් කලාව. මේ සටන් කලාව කේරළ ප්‍රාන්තය ආශ්‍රිත කරගෙන බිහිවුන සටන් කලාවක්. ඉන්දියාවේ තව හුඟක් සටන් ශිල්ප ක්‍රම තිබුණත් අද වෙනකොට ඉන්දියාවේ පවතින පැරණිම සටන ශිල්ප ක්‍රමය විදිහටත් ලෝකේ පවතින ඉපැරණිම සටන් ක්‍රම අතරින් එකක් විදිහටත් මේ කලාරි සටන කලාව ප්‍රසිද්ධයි. හින්දු ආගමික ආභාෂයෙන් වගේම ඉන්දියානු ආයුර්වේද සහ යෝගා ක්‍රම වලිනුත් මේ සටන් කලාව සමන්විතයි. කාලාරි කියන වචනයේ තේරුම යුධ පිටිය කියන එකයි. ඒ කියන්නේ මේ සටන් ක්‍රමය යුධ පිටියේදී භාවිතා කරන සටන් ක්‍රමයක් කියන අදහසින් තමයි මේ කාලාරි කියන නම යෙදිල තියෙන්නෙ. 

 

කරාතේ කියන්නේ අපිටම ආවේණික අංගම්පොර සටන් කලාවටත් වඩා ලංකාවේ ප්‍රසිද්ධ අපි හැමෝම දන්න සටන් කලාවක්. මේ සටන් ක්‍රමය බිහි වෙන්නෙ ජපන් රටේ. 20 වෙනි ශතවර්ෂයේ මුල්ම කාලෙදි බිහිවුණා කියල අනුමාන කෙරෙන මේ සටන් කලාව ජපානයේ Ryukyu කියන ජනපදය ආශ්‍රිතව තමයි බිහිවෙලා තියෙන්නෙ. ආරම්භය ජපානයේ උනාට අද වෙද්දි ලෝකෙ පුරාම ප්‍රචලිත වෙලා තියෙන සටන් කලාවක් තමයි මේ කරාතේ කලාව. මේ කලාවේ විශේෂත්වය වෙන්නෙ කරාතේ සටන් තනිකරම කෙරෙන්නෙ ආයුධ කිසිවක්ම නැතුව හිස් අතින් වෙන එකයි.

 

වූෂූ කියන්නෙත් අති සුප්‍රසිද්ධ සටන් කලාවක්. මේ වූෂූ කලාව චීනයේ ආරම්භ වුණු සටන් කලාවක්. Chinese Kungfu කියලත් හැඳින්වෙනවා. වූෂූ කියල කියන්නේ චීන භාෂාවෙන් සටන් කලාව කියන තේරුම. ඒ විදිහට තමයි මේ සටන් කලාවට වූෂූ කියන නම ලැබිල තියෙන්නෙ.මේ වූෂූ කියන්නෙ හිස් අතින් වගේම යම් යම් ආයුධ භාවිතා කරලත් කරන්න පුළුවන් සටන් ක්‍රම වෙන වෙනම ඇතුළත් වෙන සටන් කලාවක්. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here