අනුලා රැජිනගේ ජීවිතයේ සුවිශේෂී දේවල් ගැන කතා කරන්නයි lifie අද ඉඩ වෙන් කරන්නේ.
අපි දන්නවා දුෂ්කර කාලයක් පහු කරලා, දරුණු සටනක් කරලා රජරට එක්සේසත් කරන්න වළගම්බා රජු සමත් වුනා කියලා. මේ කාලයත් තමයි රජරට හොඳම කාලය.ඉතින් මොහුගෙන් පසු රජකම නැවත වතාවක් ඔහුගේ පුතා වුනු නාගට හිමි වෙනවා. ඔහු බේබද්දෙක්, සල්ලාලයෙක්, හොරෙක් කියල තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ නිසාම ඔහු චෝර නාග නමිනුත් හැඳින්වෙනවා. ඔහු විසින් වෙහෙර විහාර 12 මංකොල්ල කාපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් මේ කාලය ඉතා අවාසනාවන්ත කාලයක්.
චෝර නාග රජුගේ අගමෙහෙසිය වුනේ අනුලා දේවිය. ඇය කරලියට එන්නේ චෝර නාගගේ අග මෙහෙසිය වීමෙන්. මේ දෙන්නම කාමයට ලොල් වූ දෙන්නෙක් නිසා වසර ගණනාවක් ඔවුන් සතුටින් ජීවිත ගත කල බව සඳහන් වෙනවා. නමුත් නිතරම බීමතින් සිටි චෝර නාග නිසා මොවුන්ගේ කාලය, රටේ අභාග්‍යවන්ත කාලය කියලත් සඳහන් වෙනවා.
අනුලාගේ අතින් මිය ගිය පළමු කෙනා තමයි චෝර නාග රජු. ඇය මාළිගයේ කසළ ශෝධකයෙකු වගේම ශක්තිමත් සිරුර තිබුන පහත් කුලයේ කියල සම්මත වුන පුද්ගලයෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. චෝර නාග එය දැනගෙන ඇයව මරාවි කියල බය වුනු බිසව ඔහු ඝාතනය කිරීමට සැලසුම් කරනවා. ඇය කසළ ශෝධකයා ලවා දරුණු වසක් ගෙන්වාගෙන රජුගේ මධු බඳුනට එකතු කරළ ඔහුව මරා දමනවා.
වසර 12ක කාලයක් රජකම් කළ චෝරනාග මියයාමෙන් පසුව රජකමට පත්වුණේ මහාචූලි මහා තිස්ස රජුගේ පුත්‍රයා වුණු කුඩා තිස්ස යි. ඔහු ද රූමත් අනුලා බිසව සිය අග මෙහෙසිය කර ගත්තා. කුඩා තිස්ස රජකමට පත්ව වසර 3ක් පමණ ගතවෙද්දී අනුලා දේවිය ශිව නම් දොරටු පාලකයා එක්කත් පෙමින් බැඳුණා. අවසානයේ ඇය කුඩා තිස්සටත් වස දීල මරා දැම්මා.
කුඩා තිස්සගේ මරණයෙන් පසු අනුලා බිසව ශිවට නාමික රජකම ලබාදුන්නා. ශිවට ජීවත්වීමට වාසනාව ලැබුණේ මාස 14ක කාලයක් විතරයි.
ශිවට ද වස දී මරා දැමූ අනුලා බිසව, වටුක නම් වඩු කාර්මිකයෙක් එක්ක ජීවත් වෙනවා. වටුක ද අනුරාධපුරයේ නාමික රජු වශයෙන් පෙනී සිටිමින් අනුලා බිසව සමග වාසය කළා. නමුත් වටුකට ද ජීවත්වීමට වාසනාව තිබුණේ මාස 14ක් පමණ යි.
වටුකගේ මරණයෙන් පසු අනුලා බිසවට තෝරාගත්තේ රජ මාළිගයට දර රැගෙන ආ පුද්ගලයා යි. දරකැටිතිස හෙවත් දාරුභාතික තිස්ස නම් වුණු එම පුද්ගලයා මාස 13ක කාලයක් අනුලා බිසව සමග ජීවත් වුණා. ඔහුගේ මරණයෙන් පසුව, අනුලා බිසව නීළිය නම් බමුණා සමග මාස 6ක් ජීවත් වුනා.
රජ වීමට පෙර පැවැත් වූ අන්තිම සම්බන්ධය වුනේ මාස 6 ක් රජකම් කළ නිලියා නම් වූ දෙමළ බ්‍රාහ්මණයායි. මොහුටත් වස දී මරා දැමූ අනුලා දේවිය අවසානයේ තමාම රජකම් කරන්න තීරණය කලා.මේ විදියට ඇය ලංකාවේ පළමු රැජණ මෙන්ම දකුණු ආසියාවේ පළමු රැජන විදියට ඉතිහාස ගතවෙමින් රජරට රජකම ඇයගේ අතට ගත්තා.
ඇය රැජිණ විදියට රජකමට පත් වෙන්න ඉස්සර ඉදන්ම තමයි රටේ පාලනය ගෙන ගියේ. චෝර නාගගෙන් පස්සේ රජකල සියළු දෙනාම අනුලාගේ රූකඩ විදියට තමයි හිටියේ. මේ නිසා මේ කාලය රජරට පිරිහුණ යුගයක් විදියට ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇයට පළමු වෙනත් ස්ත්‍රියකට කිසිදා නොතිබුණු ස්වාධීනව පාලනය කිරීමේ බලය ලැබුණා. මේ නිසාම අනුලා සාමාන්‍ය ධාර්මික රැජිණකට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් ඇති කාන්තාවක් වුනා කියල සඳහන් වෙනවා. ඇයට දරුවන් සිටි බවක් සඳහන් වෙන්නේ නෑ.
Saru FM Media