ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – සුමේරියානු ශිෂ්ටාචාර​ය –  Saru News Media

0
12

සුමේරියානු ශිෂ්ටාචාරය පිළිබඳව යම්තාක් දුරකට අපි ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය විෂයවලින් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම උසස් පෙළ කලා අංශයෙන් ඉතිහාසය හදාරන කෙනෙකුට ඒ ශිෂ්ටාචාරය පිළිබඳව පුළුල් හැදෑරීමක් කරන්න සිද්ධ වෙනවා. අපේ මේ උත්සාහය මේ ලිපිය කියවන ඔබට ඒ තරම් දීර්ඝව නොවුණත් යම්තාක් දුරකට හෝ අවබෝධයක් සුමේරියානු ශිෂ්ටාචාරය පිළිබඳව ලබා දෙන්නයි.

 

අතීතයේ මෙසපොතේමියාව ලෙස හැඳින්වුණු වර්තමාන ඉරාකය ආශ්‍රිත ප්‍රදේශවල විහිදුණු මේ ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් අතර විවිධ විවාද පවතිනවා. එම ශිෂ්ටාචාරය ආරම්භ වුණු කාල සීමාව වගේම ආරම්භකයෝ කවුද කියන එක ගැනත් තවමත් එක මතයකට පැමිණ නැහැ. නමුත් ක්‍රිස්තු පූර්ව හතරවෙනි සහස්‍රය පමණ වනවිට සුමේරියානුවන් ආසන්න වශයෙන් නගර රාජ්‍ය දොළහකට පමණ ඒකරාශි වී තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා. පවුරකින් වටවුණු මෙම සෑම නගරයක් මධ්‍යයේම ඔවුන්ගේ ආගමික ස්ථානයක් ලෙස සැළකෙන ශිගුරට් නම් ගොඩනැගිල්ලක් ඉදි කොට තිබුණා. මේ නගර අතර ඉරිඩු, ඌර්, නිප්පූර් සහ උරුක් ප්‍රධාන ගණන් ගන්නවා. උරුක් නගරය එවකට ලෝකයේ පැවති සුවිශාලතම නගරය ලෙස සැළකෙන අතර එහි ජනගහණය අසූ දහසක් පමණ වූ බවට සාධක හමුවෙලා තියෙනවා.

 

සුමේරියානුවන් කූඤ්ඤාකාර අක්ෂර මාලාවක් භාවිතා කරමින් මැටි පුවරුවල විවිධ ලේඛන පවත්වාගෙන ගිය අතර දැනට සොයාගත් මැටි පුවරු අතුරින් රාජ නාමාවලිය ලෙස හැඳින්වෙන මැටි පුවරුව විශේෂ තැනක් ගන්නවා. සුමේරියානුවන්ව පාලනය කළ රජවරු ලයිස්තුවක් ඊට ඇතුළත් වන අතර ඊට ජීවත් වූ රජවරුන් සහ කල්පිත රජවරුත් ඇතුළත් වෙනවා. උදාහරණයක් විදිහට ආදී සුමේරියානු රජෙකු වසර හතළිස් තුන්දහසක් පමණ රජ කළ බව එහි සඳහන් වෙනවා.

 

සුමේරියානු නගර-රාජ්‍යයන් එකම භාෂාවක් සහ එකම සංස්කෘතික සම්ප්‍රදායන් අනුගමනය කළත් නිතරම එකිනෙකා හා යුද්ධ කරනු ලැබුවා. මේ සඳහා විවිධ හේතු කරුණු බලපෑවා. ලාගාශ් නම් නගරයේ රජ කළ ඊනන්ටම් රජු උම්මා නගරය සමග සටන් වැද ජයග්‍රහණය කළේ නගර සීමාව පිළිබඳව ඇති වුණු ගැටුමක් පදනම් කරගෙනයි. මෙම ජයග්‍රහණය ස්මරණය කරමින් මියගිය සතුරන්ගේ සිරුරේ කොටස් මත හිඳ මස් කන ගිජුලිහිණියෙකුගේ ප්‍රතිමාවක් නිර්මාණය කොට තිබෙනවා.

 

ලේඛන කලාව, රෝදය, නගුල, නීති පද්ධතිය සහ සාහිත්‍යය යන මානව වර්ගයාගේ ප්‍රගමනය සඳහා වැදගත් වන බොහෝ ක්ෂේත්‍ර සඳහා පදනම දමන්නේ සුමේරියානුවන්. නමුත් පුරාවිද්‍යාඥයන් විසින් හෙළි කරගෙන ඇති පරිදි සුමේරියානුවන් බීර නිෂ්පාදනය සඳහාද පුරෝගාමී වී තිබෙනවා. ඒ සඳහා ඔවුන් භාවිතා කළ ක්‍රම ශිල්පය මෙතෙක් හෙළිවී නැහැ. නමුත් ඇල්කොහොල් නිස්සාරණය සඳහා ඔවුන් භාවිතා කොට ඇත්තේ ඔවුන් විසින්ම වගා කරන ලද බාර්ලියි. එසේම නින්කාසි නම් දෙවඟන බීර වලට අධිපති දෙවඟන ලෙස සුමේරියානුවන්ගේ පූජෝපහාරයට ලක්ව තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here