ලෝක ප්‍රකට ගුරු සිසු සුසංයෝග – Saru News Media

0
12

පහුගිය දවස්වල ෆේස්බුක් එකේ ලොකු ලොකු සංවාද ගියානේ “අපි මේ තැන ඉන්නේ අපේ ගුරුවරු ගහපු නිසා” කියලා. ඒ මතේට විරුද්ධව හිටපු අය කිව්වේ “ගැහැව්වේ නැත්තන් ඊට වඩා ලොකු තැනකට ඔයාලා ගිහිල්ලා” කියලා. ඒ අස්සේ ජනාධිපතිතුමා කියලා තිබ්බා “මාත් ගුරුවරුන්ගෙන් හොඳට ගුටි කාපු කෙනෙක්” කියලා. ඒකට නම් කට්ටිය කිව්වේ “ගුටි කෑවා කියලා ළමෙක් හැදෙන්නේ නෑ” කියන එකට හොඳම උදහරණයක් කියලා අපේ ජනාධිපතිතුමා. මේ සේරම කතාබතා පටන් ගත්තේ ළමෙක්ට කරපු පහරදීමක් නිසා ගුරුවරියකට සිර දඬුවම් නියම වීමත් එක්ක. මේකට විරුද්ධව ගුරු සංගම් තාමත් වර්ජන සහ පෙළපාළි යනවා. ඒ අතරතුරේ අපි කිව්වා වගේ දරුවන්ව හදා ගන්න ගුරුවරුන්ට පහර දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ දිගින් දිගටම සාකච්ඡාවට භාජනය වෙනවා. හැබැයි අපි අද කතා කරන්නේ යන්නේ ඒ ගැන නම් නෙමෙයි. අපි කතා කරන්නේ ලෝක ඉතිහාසයේ අපිට මුණ ගැහෙන විශිෂ්ට ගුරු සිසු සුසංයෝග ගැන. හැබැයි මේ ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ට  ගැහුවද නැද්ද කියන්න නම් අපි දන්නේ නෑ ඉතින්.

 

මහා ඇලෙක්සැන්ඩර් විදිහට ලෝක ඉතිහාසයේ නොමැකෙන සටහනක් තියන ඇලෙක්සැන්ඩර් කුමාරයාගේ ගුරුවරයා විදිහට සැලකෙන්නේ ග්‍රීක දාර්ශනිකයෙකු විදිහට සැලකෙන ඇරිස්ටෝටල්. ඇලෙක්සැන්ඩර්ගේ පියා වුණු පිලිප් විසින් මැසිඩෝනියානු රාජ සභාවට ඇරිස්ටෝටල්ව කැඳවලා තමන්ගේ පුතාගේ අධ්‍යාපන කටයුතු ඔහුට බාරදෙනවා. ඇරිස්ටෝටල් ඇලෙක්සැන්ඩර් තුළ ගවේෂණාත්මක මනසක් ඇති කරනවා. පස්සේ කාලෙක නොනවත්වා දිග් විජයේ යෙදීමේ ආසාව ඇලෙක්සැන්ඩර්ට ඇති වෙන්නේ මේ නිසා. ඇලෙක්සැන්ඩර් තමන්ගේ යුද්ධ ව්‍යාපාරයේ මුළු කාලය තුළම ඇරිස්ටෝටල් සමග ලිපි ගනුදෙනු කරනවා වගේම ත්‍යාග එවීමත් සිද්ධ කරනවා. ඇලෙක්සැන්ඩර්ගේ අකල් මරණයත් එක්ක ඇරිස්ටෝටල්ට එරෙහිව ඇතැන්සයේ කුමන්ත්‍රණ ඇති වෙනවා. මේ නිසා ඇරිස්ටෝටල්ට ඇතැන්සයෙන් පලා යන්න සිද්ධ වෙනවා.

 

අපි කලින් කතා කරපු ඇරිස්ටෝටල්ට සහ ඇලෙක්සැන්ඩර්ට සමකාලීනව තවත් දෙන්නෙක් ඉන්දියාවේ ඒ කාලෙදීම බිහිවෙනවා. ඒ චානක්‍යය සහ චන්ද්‍රගුප්ත. මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට එද්දි ඉන්දියාවේ බලවත් වෙලා ඉන්නේ නන්ද රාජවංශය. සමහර මතවලට අනුව ඇලෙක්සැන්ඩර් ආපහු හැරෙන්න එක හේතුවක් වුණෙත් නන්ද රාජවංශයේ බලවත්කම. ඒත් මේ නන්ද රාජවංශය අතුගාලා දාන්නේ එක බ්‍රහ්මණයෙක්. ඒ අපි ඉස්සෙල්ලා කිව්වා චානක්‍යය. නන්ද රජුගෙන් සිද්ධ වුණු මදිපුංචිකමකට පළි ගන්න චානක්‍යය රණශූරයෙකු පුරුදු පුහුණු කරනවා. ඒ තමයි චන්ද්‍රගුප්ත. ඔහු තමයි මෞර්ය රාජවංශයේ ආරම්භකයා. චානක්‍යය චන්ද්‍රගුප්තව පාවිච්චි කරලා නන්ද රාජවංශය ඉන්දියාවේ දේශපාලන සිතියමෙන් අතුගාලම දානවා. චන්ද්‍රගුප්තගේ පුතා වුණු බින්දුසාරගේ උපදේශකයා බවට පත් වෙන්නෙත් චානක්‍යයමයි. සමහර ජනප්‍රවාද අනුව බින්දුසාර සමග ගැටුමකින් චානක්‍යයව මරා දැමෙනවා.

 

හෙලන් කෙලර් කියන නම ඔයාට එච්චර හුරු පුරුදු නැතුව ඇති නේද? හෙලන් කෙලර් තමයි ලෝකේ පළමු වතාවට අන්ධ තරුණියක් විදිහට කලා උපාධියක් ලබා ගත්ත කෙනා. ඈන් සලිවන් තමයි ඒ ජයග්‍රහණය ලබා ගැනීමට හෙලන් පිටිපස්සේ හිටියේ. මේ දෙන්නගේ අපූරු සම්බන්ධය වේදිකා නාට්‍ය, චිත්‍රපටි ආදි වශයෙන් නිර්මාණ රාශියකට පාදක වෙලා තියෙනවා. අන්ධ සහ බිහිරි දැරියක් විදිහට ඉපදුණු හෙලන් කෙලර් වෙනුවෙන් ඈන් සලිවන් ඒ කාලේ ඒ වගේ ආබාධිත දරුවන්ට ඉගැන්වීම සඳහා භාවිතා කරපු ක්‍රමවලට වෙනස් සහ නිර්මාණශීලී ක්‍රම මගින් ඉගැන්වීමට පටන් ගන්නවා. ඒ ක්‍රම 100%ක් සාර්ථක වෙනවා. මේ නිසා හෙලන් කෙලර්ට වගේම තවත් එවැනි වෙනස් අවශ්‍යතා සහිත දරුවන්ට විශාල සහනයක් ලැබෙනවා.

 

හම්ෆ්‍රී ඩේවි කියන්නේ විද්‍යුත් රසායනයේ පුරෝගාමියෙක්. විද්‍යුතය භාවිතා කරලා පළවෙනි වතාවට බොහෝ මූලද්‍රව්‍ය වෙන් කිරීම සිද්ධ කළේ ඩේවි විසින්. ඒ වගේම සිනහා වායුව විදිහට අපි හඳුන්වන නයිට්‍රස් ඔක්සයිඩ්වල ගුණ පිළිබඳව ඔහු පර්යේෂණ සිදු කරනු ලැබුවා. නමුත් ඔහුගෙන් ඔහුගේ විශිෂ්ටතම සොයාගැනීම මොකද්ද කියලා ඇහුවම උත්තරේ වුණේ “මයිකල් ෆැරඩේ”. මයිකල් ෆැරඩේ කියන්නේ ඩේවිගේ ගෝලයෙක් වගේ රසායනාගාර සහයකයා. මයිකල් ෆැරඩේ පස්සේ කාලෙක විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර පිළිබඳ සුවිශේෂී සොයා ගැනීම් කරනවා. ඒ වගේම රසායන විද්‍යාවේ නිතර කතා කරන බෙන්සීන් සොයාගන්නෙත් ෆැරඩේ. ෆැරඩේගේ විශිෂ්ටත්වය පෙන්වන අවස්ථාවක් ගැන කියලා ඩේවි සහ හම්ෆ්‍රී ගැන මේ කොටස ඉවර කරන්නම්. ඒ තමයි ඇල්බට් අයින්ස්ටයින් තමන්ගේ මේසය උඩ ඡායාරූප තුනක් තියාගෙන හිටියා එකක් අයිසැක් නිව්ටන්ගේ, අනෙක ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල්ගේ අනිත් ඡායාරූපය ෆැරඩේගේ.

 

මේ ගුරු සිසු යුවල අද ලෝකයේ ඉන්න ජනප්‍රියම සහ බලවත්ම ගුරු සිසු යුවල කිව්වොත් වැරදි නෑ. මේ දෙන්න  ගැන නම් ඉතින් වැඩි විස්තරයක් ඕනේත් නෑ. එම්මානුවෙල් මැක්‍රේන් ප්‍රංශයේ නැපෝලියන්ට පස්සේ ජනාධිපතිධූරයට පත් වුණු ලාබාලතම පුද්ගලයා විදිහට ඉතිහාසගත වෙනවා. ඒ වගේම ඔහු විවාදාත්මක වෙනස්කම් රැසක් ප්‍රංශ දේශපාලනයට හඳුන්වා දෙනවා. ඒ වගේම මැක්‍රේන්ගෙ පෞද්ගලික ජීවිතයත් ඉතාමත් විවාදාත්මකයි. මොකද ඔහු විවාහ කරගන්නේ තමන්ගේ සාහිත්‍යය ගුරුවරියව. ඇයට මැක්‍රේන්ගේ වයසේ දරුවෝ හිටියත් තමන්ගේ පළමු සැමියව දික්කසාද කරලා මැක්‍රේන් හා විවාහ වෙනවා.

 

ඉන්දියන් ක්‍රිකට් පිස්සෙක්ගෙන් “භගවාන්” කියන්නේ කවුද කියලා ඇහුවොත් ආපහු දෙකක් නෑ කියන්නේ “තෙන්දුල්කාර්” කියන නම. හැබැයි මේ භගවාන්ගෙන් “භගවාන්” කවුද කියලා ඇහුවොත් එයා කියන්නේ “රාම්කාන්ත් අර්චේකර්” කියන නම. රාම්කාන්ත් අර්චේකර් කියන්නේ සචින්ගේ පුහුණුකරු. සචින් එක්තරා තරගයකට සහභාගී නොවී තමන්ගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට අත්පොලසන් දෙමින් ඉද්දි රාම්කාන්ත් සචින්ට බැණ වදිනවා. අනුන්ට අප්පුඩි ගහන්න නෙමෙයි තමන් වෙනුවෙන් අනුන් අප්පුඩි ගහන දවසක් උදාකරගන්න කියලා.

 

මේ ලැයිස්තුවට මේ දෙන්නව අමාරුවෙන් රිංගුවේ. හේතුව තමයි රාමනුජන් කියන්නේ සුවිශේෂී ගණිතඥයෙක්. ඔහුට ඒ දැනුම ලැබුණේ ගුරුවරයෙක්ගෙන් නම් නෙමෙයි (රාමනුජන් කියපු විදිහට දේවාශිර්වාදයෙන්) නමුත් ඉන්දියාවේ හිටපු රාමනුජන්ව ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගෙනල්ලා ඔහුගේ සොයාගැනීම්වලට අවශ්‍ය සාධනයන් ලිවීමට උදව් කරපු ජී . එච් හාඩි මහාචාර්යවරයා කරපු කැපවීම අතිශයින් අගය කළ යුතු වෙනවා. මේ දෙන්නගේ සම්බන්ධතාවය ගැන “Man who knows the infinity” වගේ චිත්‍රපටිවලින් කතාබහ කෙරෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here