වික්ටෝරියා වේල්ල මතින් සැහැල්ලු වාහන ධාවනය කිරීමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ යෝජනාව ආරක්ෂක මණ්ඩලයට – Saru News Media දේශීය පුවත්

0
12

වික්ටෝරියා වේල්ල මතින් සැහැල්ලු වාහන ධාවනය කිරීමට අවසර ඉල්ලීමේ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඒකමතිකව තීරණය වුණා.

වික්ටෝරියා  වේල්ල මතින් පොදු වාහන ධාවනය අත්හිටුවා ඇති බැවින් මහජනතාව පත්වන අසීරුතාව සලකා බලා පොදු වාහන ධාවනයට අවසර දීම සුදුසු බව ඉකුත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය විය.

එහිදී අදාල කමිටු තීරණය  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත දැනුම්දී එම අවසරය ලබා ගැනීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කරන ලදි.

නමුත් විවිධ තාක්ෂණික කාරණා හේතුවෙන් ඊට අනුමැතිය ලබාදීමට නොමැති බව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දන්වා තිබිණි.

ඒ අනුව කරුණු සලකා බැලූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වික්ටෝරියා වේල්ල වාහන ධාවනයට විවෘත කිරිමේ ඇති වැදගත්කම ආරක්ෂක මණ්ඩලයට යොමු කොට එයින් අනුමැතිය ලබා ගැනීමට තීරණය විය.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ත්‍රස්තවාදී යුද්ධය පැවැති වකවානුවේදී ආරක්ෂක හේතු මත ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් මත වේල්ල වසා දැමුවත් මේ වන විට රටේ තත්ත්වය සාමකාමී වන බැවින් මහජන සුභසිද්ධීය වෙනුවෙන් වේල්ල මතින් ගමන් කිරීමට අවසර ලබා දීම උචිත යැයි පැවසුවා.

බහු කාර්යය සංවර්ධන යෝජනාවේ එක් ව්‍යාපෘතියක් වන වික්ටෝරියා ජලාශය මගින් විදුලි උත්පාදනය මෙන්ම ප්‍රවාහන, කෘෂීකර්ම හා පානීය ජල අවශ්‍යතාව ඇතුලු ඉලක්ක ගණනාවක් සපුරාලිය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා තවදුරටත්  පෙන්වා දෙනවා.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්, දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here