වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට දීමෙන් ගුවන් තොටුපළේ උණුසුම් තත්ත්වයක්

0
14

කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඊයේ සිට ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග ගුවන් මගීන්ගෙන් ඊට විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ, ඊයේ සවස 05 සිට ඔවුන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

ඒ අනුව වීසා අපේක්ෂාවෙන් සිටි සංචාරකයින්ගේ දිගු පෝලිම් ඇති වූ බවත් විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළ කරන්නට වීමෙන් උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති වූ බවත් නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවා. 

new2023 voice · AIR PORT CUT 01

මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කර තිබුණා.

ඔවුන් ඒ සදහා ඉන්දියාව, චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය කළේ නැහැ.

සාර්ක් රටවල සංචාරකයන්ට දින 30 කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් ද, අනෙකුත් රටවල සංචාරකයන් සඳහා ඇමෙරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් ද අය කර තිබුණා.

එහිදී වයස අවුරුදු 12 ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු කර තිබුණා.

එහෙත් ඊයේ සවස 05 ට මෙම වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම මගින් සාර්ක් රටවල සංචාරකයන්ගෙන් සිය වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22 ක් අය කර ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25 ක මුදලක් ද ඔවුන් අය කර තිබුණා.

මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු සහ පහසුකම් සැළසීමේ ගාස්තු අය කිරීමක් ද සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100යි ශත 77 ක් බවට පත් වී තිබුණා.

එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25 ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙකු පැවසුවේ යැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවට වසරක කාළයක් තුළ සංචාරකයන් මිලියන 03 ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ක් හෙවත් රුපියල් මිලියන 20,000 ක ආදායමක් හිමි වන බවද එම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා ප්‍රකාශ කර තිබුණා.

මෙම පසුබිම යටතේ ඊයේ පස්වරුවේ පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් 10 දෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කර තිබුණා.

එහෙත් ඊයේ රාත්‍රී 08.30 පමණ වන තෙක් දිගු පෝලිම් දක්නට ලැබූනු බවත් ඒ අතරතුර විදෙස් සංචාරකයන් අතර උණුසුම්කාරී වාතාවරණයක් ද ඇති වූ බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

යළිත් රාත්‍රී 09.00 පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දිගු පෝලිම් ඇති වී නොසන්සුන් ලෙස විදේශ සංචාරකයන් හැසිරීමට පටන් ගත් බවටද වාර්තා වනවා.

මේ නිසා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, බුද්ධි අංශයේ නිලධාරීන් ද පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව මෙම ඉන්දීය පෞද්ගලික සමාගමේ නිලධාරීන් වීසා නිකුත් කිරීම රාත්‍රී 11.30 ට පමණ තාවකාලිකව අත්හිටුවා තිබුණා.

තමන් වෙත එකතු වී තිබූ මුදල් ද රැගෙන ඔවුන් ගුවන් තොටුපොළෙන් පිටතට ගොස් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හට එම අවස්ථාවේ සිට පැරණි ගාස්තු ක්‍රමය යටතේ අය කිරීම් සිදු කරමින් වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, උපදෙස් සහ නියෝග ලබා දී ඇති බවද වාර්තා වුණා. 

ඒ අනුව මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වීසා නිකුත් කිරීම සිදු කර ගෙන යමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here