සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසයි – Saru News Media දේශීය පුවත්

0
13

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබද යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළා.

ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සදහා මහජනතාව දැනුවත් කිරීම හා එකී ක්‍රියාවලියට ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් නිර්දේශ සකස් කිරීමේ අරමුණින් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබද යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාරයාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ආචාර්ය අසංග ගුණවංස මහතා පුමුඛ නිලධාරීන් විසින් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ, අධිකරණ සංඝනායක පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමි, අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරී නාහිමි, නියෝජ්‍ය මහා ලේඛාධිකාරී පූජ්‍ය වාද්දූවේ ධම්මවංස නාහිමි හා මහාචාර්ය පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි යන හිමිවරුන් ද, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක, තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණන්, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, ජයන්ති මහා විහාරයේ විහාරධිපති පුජ්‍ය නුගේතැන්නේ ශ්‍රි පඤ්ඤානන්ද හිමි, නුවර කලාවිය ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි, අටමස්ථාන කාරක සභාවේ ලේඛකාධිකාරී, රුවන්වැලි මහාසෑ චෛත්‍යරාමාධිපති හා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නාහිමි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රදගුරු නෝබට් මාෂල් අන්ද්‍රාදි පියතුමා ඇතුලු කතෝලික පියතුමන්ලා හා අනුරාධපුර ඉස්ලාම් මහ පල්ලියේ මවුලවිතුමන් වන අබ්දුල් කයුම් මවුලවිතුමා ඇතුලු පූජකවරුන් හමු වී සාකච්ඡා කර එකී කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්දේශ, අදහස් හා ආශිර්වාදය ලබාගත්තා.

මීට අමතරව, යුද්ධය නිසා බලපෑමට පත්වු නොච්චියාගම, මහවිලච්චිය ප්‍රදේශයේ ගම්වාසීන් ද, එම ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීවරුන්ද, අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් ඇතුලු ග්‍රාම නිලධාරිවරුන්ගේ නියෝජනයක්ද, සංවර්ධන නිලධාරීන් ඇතුලු රජයේ නිලධාරීන් ද, රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධානයන්හි ක්‍රියාකාරින්, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියෝජනය කරමින් වන්නි ආඥාපති ඇතුලු යුධ හමුදාවේ ඉහල නිලයන්ද, ගුවන් හමුදා නිලධාරීන් හා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ද, ජාතික සමගිය හා සංහිදියාව කාර්යාලයේ හා ජාතික ජනසභා කාර්යාලයේ නිලධාරීන් ද, මැදවච්චිය ප්‍රදේශයේ යුද්ධයෙන් පීඩාවට පත්වු තම්මැන්නා, ඇලවක හා මහකෝන්ගස්කඩ යන ප්‍රදේශයන්හි ගම්වාසින්ද, කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්හි ගම්වාසීන් ඇතුලු විවිධ පාර්‍ශවකරුවන් රැසක් සමග එම අදහස් විමසීම සිදුකළා.

මෙම සාකච්ඡාවලදි උතුරු නැගෙනහිර ගැටුම් ආශ්‍රිත බලපෑම් හේතුවෙන් වින්දිතයන් මුහුණ දුන් ප්‍රශ්න, එවැනි බිහිසුණු අත්දැකීමක් ඉදිරි අනාගතයේ නැවත සිදුවීම වැළැක්වීමේ වැදගත්කම, එකී අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා ස්වාධීන කොම්සමක් ස්ථාපිත කිරීමේ වැදගත්කම හා යෝජිත කොමිසමේ නිර්දේශ මත නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා පවතින රජයේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීමට කොමසාරිස්වරුන්ට ඇති බලතල හිමිවීමේ වැදගත්කම, සාමය හා සංහිදියාව සඳහා මින් පෙර පත්කර ඇති පුර්ව ජනාධිපති කොමිසම හා යෝජිත ස්වාධීන කොම්සමේ ක්‍රියාපටිපාටිය වෙනස් වන්නේ කෙසේද යන්න පාර්ශ්වකරුවන් වෙත පැහැදිලි කළා.

මේ හා සමාන යුධ වාතාවරණයන් සිදුව ඇති අනෙකුත් රටවල් 26ක පමණ සත්‍ය කොමිෂන් ක්‍රියාත්මකව ඇති බවත් එමගින් යුද්ධයෙන් පසු වින්දිතයන්ට සංක්‍රාන්තික යුක්තිය ප්‍රකාරව සහන ලබාදි ඇති ආකාරය අධ්‍යයනය කිරිමට අන්තර්වාර ලේකම් කාර්යාලය මගින් දැනටමත් රටවල් 12ක සිද්ධි අධ්‍යනයන් සිදුකරමින් ඇති බවත් එම නියෝජිතයන් මෙහිදි ප්‍රකාශ කළා.

එකී රටවලින් ලබාගත් අත්දැකීම් මත අපේ රටට අදාළ කරගත හැකි මාර්ගෝපදේශ සැකසීමේ වැදගත්කම, මෙම යෝජිත කොමිසමේ සංයුතිය අනුව කොමසාරිස්වරුන් හා ලේකම් කාර්යාලයට අමතරව දේශිය හා විදේශීය විද්වතුන්ගෙන් සැදුම්ලත් උපදේශන මණ්ඩලයක් ද, කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීමට නියාමන මණ්ඩලයකින් ද සමන්විත බවට කරුණු ඉදිරිපත් කළා.

එමගින් මෙම යෝජිත යාන්ත්‍රණයේ තුලනාත්මක බව හා වගවීම යන සංකල්ප මත පදනම්ව මෙම යෝජිත ආයතනයේ ස්වාධීනත්වය යන කරුණු අවධාරණය කෙරුණා.

ඒ අනුව පාර්ලිමේන්තු පනතක් මගින් සත්‍ය, සමගිය හා සංහිදියාව සදහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර, යෝජිත කොමිසමේ පදනම සැකසීමේ ක්‍රියාවලියේදි සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාරයාලයේ කාර්යභාරය, වර්ෂ 2024 ජනවාරි මස 01 වන දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇති යෝජිත පනතේ ප්‍රධාන ලක්ෂණ හා යෝජිත යාන්ත්‍රණය පිළිබඳ පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් හා අදහස් ලබාගැනීම මෙම සාකච්ඡාවන්හිදි සිදුවුණා.

මෙහිදි සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබද යාන්ත්‍රණයේ අන්තර් ලේකම් කාර්යාලයේ නිලධාරී කණ්ඩායම විසින් වරෂ 1983 සිට 2009 දක්වා කාලය තුළ උතුරු නැගෙනහිර පලාත්වල පැවති ජනවාර්ගික ගැටුම් හා සම්බන්ධිත දිවයින පුරාම පීඩාවට පත්වුවන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා යෝජිත පනත් කෙටුම්පත දැනට සංකල්ප පත්‍රිකාවක් වශයෙන් පමණක් ගැසට් කර ඇති බවත්, අදාළ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන කරුණු සලකා බලමින් එම පනත් කෙටුම්පත වැඩිදුරටත් වැඩිදියුණු කිරීමේ හා සංශෝධනය කිරිමේ රජයේ අභිප්‍රාය පිළිබද පාර්‍ශවකරුවන් දැනුවත් කළා.

එමෙන්ම මෙම සාකච්ඡාවලදි ඉදිරිපත් වු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු හා යුද්ධය අවසන් වුවත් තවදුරටත් ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳ අදාල රජයේ බලධාරීන්ගේ නිසි අවධානයට යොමු කරන බවත් මෙහිදි දැනුම් දෙනු ලැබුවා.

මෙම සාකච්ඡා සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රංජිත් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ විධායක (ප්‍රතිපත්ති) අසිෆ් ෆුවාඩ්, විධායක (මහජන සබදතා) දිනුෂි ද සිල්වා, විධායක (මහජන සබදතා) නිතිඥ සෞම්‍යා වික්‍රමසිංහ, (නිති අංශය) නීතිඥ නවීන්ද්‍ර ෆොන්සේකා හා සම්බන්ධීකාරක ගාමිණි විද්‍යාරත්න යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් සහභාගි වුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here