සබන් වල සුවඳවත් ඉතිහාසයෙන් බිඳක් දැනගනිමු – Saru News Media

0
8

මානව ඉතිහාසයේ සිදුවුණ වැදගත් සිදුවීම් අතර සබන් සොයාගැනීමත් එක් අතකින් ලෝකයට වැදගත් සොයාගැනීමක්. මිනිසුන්ට වඩාත් පහසුවෙන් ලබාගන්න, හදාගන්න පුළුවන් සබන් කාර්මීකරණයෙන් පස්සේ ජනගහණය වැඩිවෙද්දි පිරිසිදු කරන වැඩ වලට වැදගත් වුණා. අදත් අපි ඇඟ හෝදන්න, නාන්න, මූණ සෝදන්න වගේම අනෙක් පිරිසිදු කිරීම් රැසකට සබන් සහ සබන් ඇතුළත් සංයෝග පාවිච්චි කරනවා. ඉතින් සබන් ගැන ඉතිහාසගත කරුණු කිහිපයක් අපි සොයා බලමු.

 

මීට අවුරුදු 4800කට පෙර පෞරාණික ඊජිප්තුවේත් සබන් පාවිච්චි කළ බවට සාක්ෂි අනාවරණය වෙනවා. ඒ අනුව ඔවුන් වර්තමාන සබන් සංයෝගයට ඉතා ආසන්න දෙයක් පිරිසිදු කිරිමේ කටයුතු වලට යොදාගෙන තිබුණා. සබන් වල ඉංගිරිසි නම වන සෝප් යන්න පෞරාණික රෝමානුවන්ගේ මිත්‍යා චරිතයක් වන මවුන්ට් සෝපෝ නැමැති චරිතය ඇසුරෙන් ආපු එකක්. මෑත කාර්මික විප්ලව කාලේ මුල්ම සබන් සමාගම විදිහට ප්‍රොක්ටර් සහ ගැම්බල් (Procter & Gambel) හෙවත් පී ඇන් ජී සමාගම 1837දී පමණ බිහිවෙලා තියෙනවා. 19 වන සියවසේදි ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය සබන් ලොවට හඳුන්වාදුන් ජාතීන් ලෙස ඉතිහාසයට එකතු වෙනවා.

 

සබන් කියන්නේ මෑත කාලයේදිත් විශාල වෙළඳ ප්‍රචාරණ යාන්ත්‍රණයන්ට හසුවන ව්‍යාපාරයක්. මේ සබන් වලින් මුලින්ම රේඩියෝ වැඩසටහනකට අනුග්‍රහය දැක්වූයේ 1927දීයි. ඒ පී ඇන් ජී සමාගම වෙනුවෙන් ඔවුන්ගේ සමාගමේ සබන් නිශ්පාදන ගෘහණියන්ට හඳුන්වා දීම සඳහා. කෙසේ වෙතත් ඉන් පසු මේ සබන් අනුග්‍රහයෙන් රඟ දැක්වෙන ගුවන්විදුලි නාටක සෝප් ඔපෙරා ලෙස හැඳින්වුණා. පසුකලෙක 1952 දී මේ සෝප් ඔපෙරා කියන නමින් කැඩිලා ඇවිත් ඒ වාණිජ අතින් සාර්ථක එතරම්ම ගැඹුරු නැති ගුවන්විදුලි වැඩසටහන් සෝප්ස් ලෙස හැඳින්වෙන්න පටන් ගත්තා.

 

ලංකාවෙන් ඉන්දියාවට යන දඹදිව වන්දනා නඩ අතර තිබුණ මතයක් තමයි ඉන්දියාවේ අයට ලංකාවේ සබන් හරි වටිනවා කියන කතාව. ඇතැම් විට සබන් වල වටිනාකම අඩු වුණත් ඉන්දියාවේ දුප්පත් ජනතාවට සබන් ගන්නට මුදල් නැති වීම නිසා ඔවුන් සබන් වටිනා දෙයක් විදිහට සැළකුවා වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ඇල්කොහොල් වලට වගේම සබන් වලටත් බදු ගහපු කාලයක් එංගලන්ත ඉතිහාසයේ හමු වෙනවා. ඒ 1712 දී. ඒ කාලේ සබන් ලක්ෂරි බඩුවක් විදිහට සලකලා ටැක්ස් ගහලා තියෙනවා. ඉතින් ඒ කාලේ මිනිස්සු අරක්කු වැඩිවුණාම කසිප්පු පෙරනවා වගේ සබන් කඩේ නැති නිසා ගෙදර සබන් හදාගන්න නීති විරෝධී සබන් සැදීමේ ගෘහ කර්මාන්ත පවත්වාගෙන ගිහින් තියෙනවා.

 

1850 ගණන්වලදී ඩයිනමයිට් සහ සබන් කියන දෙවර්ගයම හදන්න එකම මූලද්‍රව්‍යයක් උපයෝගී කරගත්තා. ඒ වෙද්දි කලින් පනවපු සබන් බදු ආදිය ඉවත් වෙලා විවිධ ආකාරයේ සබන් වෙළඳපොලට ආවා. සබන් දියර විදිහට වගේම සබන් කැට වශයෙනුත් ඒ කාලේ ජනප්‍රිය වුණා. කොහොම වුණත් සබන් වලට සහ පුපුරණ ද්‍රව්‍ය වලට ග්ලිසරින් යොදාගැනීමත් එක්ක ලෝක යුද්ධ කටයුතු වලටත් මේ සබන් හදන මූලද්‍රව්‍ය උවමනා වුණා. ඒ නිසා සබන් නිෂ්පාදනය අඩු වුණා. ඉතින් ඒ නිසා සබන් නැතුව සොල්දාදුවන්ට හරිම අසීරු තත්ත්වයන්ට මූණ දෙන්න වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here