MAS හි Femography නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ඔසප් දරිද්‍රතාවට එරෙහිව නැගී සිටියි – Saru News Media | Sri Lanka Business News

0
12

MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වීම වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය. සුවිශේෂී කාන්තා අවශ්‍යතාවන් සඳහා විසඳුම් සෙවීමේ උත්සාහයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් දියත් කළ මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන කාන්තාවන් 2000කට අධික ප්‍රමාණයක් වෙත ආධාර ලබා දීමයි. මෙම නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා පරිත්‍යාගය හා සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා අරමුදල් සපයා ගැනීම හා දැනුවත් කිරීම වෙනුවෙන් ‘Run For Her’ සමඟ අත්වැල් බැඳගැනීමට ද Femography කටයුතු කරන ලදී.

කාන්තා සුන්දරත්වය ඔප් නංවමින් සිය ඇඳුම් පැළඳුම් හරහා කාන්තාවන්ට මනා සෞඛ්‍යයක්, අභිමානයක් මෙන්ම විශ්වාසයක් ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කළ Femography, FemTech ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමීන් ලෙස කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් වන සාම්ප්‍රදායික සීමාවන්වලට එරෙහිව නැගී සිටින සන්නාමයක් ලෙසද සඳහන් කළ හැකිය. ඒ නිසාම කාන්තා සනීපාරක්ෂාවේදී ඉවත දැමිය හැකි සනීපාරක්ෂක නිෂ්පාදනයන්හි සිට නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන දක්වා නවෝත්පාදනයන් තුළින් කාන්තා යහ පැවැත්ම සඳහා සුවිසල් දායකත්වයක් දැක්වීමට ඔවුන් කටයුතු කර ඇත.

කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීම සඳහා Femography හි කැපවීම පිළිබිඹු කරන මෙම වැඩසටහන සමාජ වගකීම් හා නව්‍යකරණයන් පිළිබඳ Femography හි මෙහෙවරද මනාව ප්‍රදර්ශනය කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Femography හි ප්‍රධාන විධායක නිලධාරී Pilar Diaz සඳහන් කර සිටියේ “අපි නිරන්තරයෙන් ඇඟලුම් නිෂ්පාදනයේ හා නව්‍යකරණයේ ප්‍රමුඛයින්ට වඩා වැඩි යමක් ලබා දීමට කටයුතු කරනවා. එහිදී පාරිභෝගිකයා වෙනුවෙන් නියම විසඳුම් ලබා දීමට අපි සැලසුම් කර තිබෙනවා. කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් වරක් භාවිත කළ හැකි නිෂ්පාදනයන්හි සිට නැවත භාවිත කළ හැකි නිෂ්පාදනයන් දක්වා ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් තුළින් කාන්තා සනීපාරක්ෂාව ඉහළ නැංවීම සඳහා අප කටයුතු කළා. මේ තුළින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාව අවම කරමින් ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කළ අප කාන්තාවන්ට ඉතා වැදගත් මෙම ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා.” යනුවෙනි.

ඔසප් දරිද්‍රතාව යනු බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවුණු එහෙත් ලොව පුරා කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට බලපාන ප්‍රභල ගැටළුවක් ලෙස සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් බොහෝ දෙනෙකු ආර්ථික දුෂ්කරතාවයන් හා සමාජීය බාධාවන් හේතුවෙන් අවශ්‍ය සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමට අපොහොසත් වී ඇත.

විශේෂයෙන් පැවති ආර්ථික අර්බුධකාරී තත්වයන්ට පෙර කාලයේදී පවා ඔසප් වයසේ පසුවන කාන්තාවන් සිටින පවුල්වලින් 50%කට පමණ පිරිසකට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට නොහැකි වූ අතර ඒ නිසාම එම දිනයන්හිදී පාසල් හා රැකියා සඳහා පැමිණීමද අවම විය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් පාසල් ශිෂ්‍යාවන්ගෙන් 20%ක පමණ පිරිසක් එම කාලය තුළ පාසල් පැමිණීම ප්‍රතික්ෂේප කොට තිබීම අවාසනාවන්ත තත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

ඉන් පැහැදිලි වන්නේ ඔසප් දරිද්‍රතාව කාන්තාවන්ට සිදුවන ශාරීරික අපහසුතාවයක් පමණක් නොව තමන්ගේ වෘත්තීය, අධ්‍යාපනය හා සමාජ ක්‍රියාකාරකම් වෙනුවෙන් සහභාගී වීමට ඇති හැකියාවද වළක්වන්නක් බවයි.

මෙහිදී සඳහන් කළ හැකි තවත් ගැටළුවක් වන්නේ එදිනෙදා භාවිත කරන සනීපාරක්ෂක තුවා හේතුවෙන් ඇති වන පාරිසරික අර්බුධයයි. සාමාන්‍යයෙන් භාවිත කරන ඉවත දමන සනීපාරක්ෂක තුවා පරිසර දූෂණයට මෙන්ම අපද්‍රව්‍ය ඉහළ යාමට හේතු වේ. කාන්තා පාරිසරික ජාලය මඟින් සිදු කළ පර්යේෂණයකට අනුව භාවිත කර ඉවත දමන සනීපාරක්ෂක තුවායක් දිරාපත් වීම සඳහා අවම වශයෙන් වසර 500ක පමණ කාලයක් ගත වන බව සොයා ගෙන තිබීම තුළින් තිරසාර නිෂ්පාදන භාවිතයේ හදිසි අවශ්‍යතාවයද තවදුරටත් ඉස්මතු වී ඇත.

FemTech කර්මාන්තයේ ප්‍රමුඛයකු ලෙස වසර 10කට වැඩි කාලයක් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන Femography යනු MAS Holdings හි අනුබද්ධ ආයතනයකි. තමන් සතු අත්දැකීම් හා සම්පත් භාවිතයෙන් ඔසප් සනීපාරක්ෂාව සඳහා විප්ලවීය වෙනසක් ඇති කරමින් ගෝලීය වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමට කටයුතු කර ඇති Femography තිරසාර නිෂ්පාදනයන් කාන්තාවන් වෙත ලබා දෙමින් සනීපාරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සුවිසල් වෙනසක් සහ ප්‍රගතියක් ඇති කිරීමට කටයුතු කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here