අතීතයේ සිට ලංකාවම භීතිය පත්කළ පාතාල නායකයෝ 8 දෙනෙක් – Saru News Media

0
16

ඔයාලා 1978 දී මුල්වරට අමිතාබ් බච්චන් රඟපෑව පස්සේ 2006 දී ෂාරුක් ඛාන් යොදාගෙන නැවත නිර්මාණය කරපු ඩොන් චිත්‍රපටය බලලා තියෙනවද?

ඩොන් කියන වචනයේ තේරුම මහත්මයා හෝ නායකයා කියන එක උනත් ඒක ඉතාලි මාෆියාව තුළ පාතාල නායකයා හඳුන්වන්න බහුලව යොදාගත්ත වචනයක්. ඉතිං මේ ඩොන් චිත්‍රපටයත් එක්ක මේ වචනය, චරිතය ගොඩාක් වේගයෙන් සමාජ ගත උනා. ඒ කොච්චරද කියනවානම් අද වෙද්දී ලෝකයේ අනිත් රටවල් වගේම ලංකාවේ පාතාල නායකයකයිනූත් ඩොන් කියලායි හඳූන්වන්නෙ. විශේෂයෙන්ම සමාජයේ හොඳ මහත්මයෙකු වගේ ඉන්න ගමන් දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කරලා ඉතාම සැලසුම්සහගත විදිහට පාතාල කල්ලි පවත්වාගෙන යන අයට තමයි ඩොන් ලා කියලා කියන්නේ. ශ්‍රී ලංකාවෙත් කාලෙන් කාලෙට තමන්ගේ බලය පතුරවාගෙන හිටපු අන්න ඒ වගේ ඩොන් ලා බොහෝ දෙනෙක් හිටියා. අදටත් ඉන්නවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුලින්ම නම ගිය අපරාධකාරයා එහෙමත් නැත්නම් පාතාල නායකයා වුනේ ගෝනවල සුනිල්. 1970 දශකයේ දී කරලියට ආපු ඔහුගේ සැබෑ නම සුනිල් පෙරේරා උනත් කාලයක් එක්ක ඔහු ගෝනවල සුනිල් කියන නමින් ප්‍රසිද්ධ වෙන්න ගත්තා. ඒ කාලයේ රට පුරා සිද්ධවුණු ස්ත්‍රී දූෂන, මිනීමැරුම් ඇතුළු විවිධාකාර අපරාධ රැසකට සම්බන්ධ ඔහු වරක් අවුරුදු 14 ක දැරියක් දූෂණය කිරීම නිසා සිරගතවුනා.1982 දී ගෝනවල සුනිල්ට ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව එක්ක සාමවිනිසුරු පදවියකුත් ලබාදුන්නා.
එදා ඉදලා ගෝනවල සුනිල් සැබෑ ඩොන් කෙනෙක් වගේ දැවැන්ත පාතාල කල්ලියක් මෙහෙයවන්නට කටයුතු කළා. 1983 දී වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 53 දෙනෙකු සමුල ඝාතනය කිරීම ඔහුට එල්ලවූ ප්‍රබලතම චෝදනාවක්. කළු ජූලිය අතරතුරත් සමූල ඝාතන ඇතුළු සාහසික ක්‍රියා රාශියකට ගෝනවල සුනිල් සම්බන්ධ වුණා. එවකට තිබුණු රජයේ ප්‍රබල මැති ඇමතිවරුන් ගේ ආරක්ෂකයා ලෙස පෙනීසිටි නිසා ඔහු නීතිය ගැන කිසිම සැලකිල්ලක් දැක්වූවේ නැහැ. 1987 දී ඔහු පොලිසිය සමග කළ වෙඩි හුවමාරුවකදී මරණයට පත්වුණා.

අඹේවෙලගේ දොන් උපාලි රංජිත් හෙවත් සොත්ති උපාලි කියන්නේ 1979 දශකයේ සිටම අපරාධ වලට සම්බන්ධවී සිටි පුද්ගලයෙක්. තරුණ කාලෙදිම ඒ සඳහා යොමුවූ උපාලිගේ අතක් හොරකමකදි සිදුවුන ගැටුමක් නිසා දරුණු විදිහට හානි වෙනවා. අබ්බගාත කියන අදහස ඇතිව සොත්ති උපාලි විදිහට ඔහු ජනප්‍රිය වෙන්නේ ඉන් පස්සේ. ඒත් ඔහු සැබෑම ඩොන් කෙනෙක් විදිහට 1980 හා 1990 දශකයේදී තමයි කරලියට එන්නේ. රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වූ සිරිසේන කුරේ එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තිබුණු බවට එකල කටකතාවක්ද පැතිරුණා. “සර්” කියන නමින් තමන්ට අමතනවා දකින්න ගොඩාක් කැමති කෙනෙක් වුනු සොත්ති උපාලිට සර් කියලා අමතන විදිහට ඉහළම පොලිස් නිලධාරීන්ට පවා එකල බලපෑම් ඇති වුණා. ශ්‍රී ලංකා ඉතිහාසය පුරා සොත්ති උපාලි තරම් මැර බලයක් හා දේශපාලන බලයක් පවත්වාගත් ගිය පුද්ගලයෙක් තවත් නැති තරම්. රජයේ විරුද්ධවාදීන් මරාදමන මෙහෙයුම් රැසකටත් ඔහු දායක වුණා.1983 දී ලලිත් ඇතුලත්මුදලි මහතා මරා දමන්නේද සොත්ති උපාලිගේ මෙහෙයවීමෙන්. කොහොම වුනත් ඒ නඩු විභාගය සිදුවෙමින් තිබෙන අතරතුර එදිරිවාදී මැර කල්ලියකගේ අතින් ඔහු ඝාතනය වෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්ත මාෆියාවක් මෙහෙයවූ මුල්ම පුද්ගලයා හැටියට කොස්වත්තගේ ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහව හඳූනා දෙන්න පුළුවන්. පසුකාලීනව නාවල නිහාල් විදිහට ප්‍රසිද්ධ වුනත්, අපරාධ රැසකට සම්බන්ධ වෙලා හිටියත් වැඩිම ප්‍රසිද්ධියක් දැරූවේ කප්පම් ගැනීම සම්බන්ධයෙනුයි. ඉතා විශාල ව්‍යාපාර හිමි ධනවත් ව්‍යාපාරිකයින් රැසක්ම බියවද්දා ඔහු කෝටි ගණනින් කප්පම් ලබාගත්තා. කොහොම වුණත් මේ විහට ලබාගන්නා කප්පම් මුදල් දුප්පත් ජනතාව අතර බෙදා දුන් නිසා ඔහුව තරමක් දුරට රොබින්හුඩ් කෙනෙකු ලෙසද ඒ කාලේ හැඳින්නුවා. අනූව දශකයේ නාවල නිහාල් හිටියේ කොළඹ පාතාලයේ අසහාය නායකයා විදිහට.1994 අවුරුද්දේ සිද්දවුන ආණ්ඩු මාරුවත් එක්ක ඒක තවත් උග්‍ර වුණා. කළු අජිත් වගේම නම ගිය පාතාල නායකයින් රැසක්ම මරා දමමින් තමන්ගේ බලය තහවුරු කරගන්න නාවල නිහාල් පස්සේ කටයුතු කළා. ඒ නිසා නාවල නිහාල්ව ඒ කාලේ සැලකුවේ ශ්‍රී ලංකාවේ ගෝර්ඩ් ෆාදර් කියලා. කප්පම් දීලා නම්මවා ගත්තු පොලිස් නිලධාරීන්ගෙන් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරගත්තා. කොහොම උනත් අවසානයේදී ඔහුගේ අනියම් බිරිඳක් වුනු රේණුකා වසන්ති මෙහෙයවූ අපරාධ කල්ලියක් නාවල නිහාල් පැහැරගෙන ගිහින් මරලා දාලා තිබුණා.

සංජීව පෙරේරා නොහොත් බැද්දගාන සංජීව කියන්නේ අපේ රටේ තවත් නම ගිය පාතාල නායකයෙක්. අනූව දශකයේ ඉඳලා බලය පවත්වාගෙන හිටපු ඔහු ඒ කාලේ තිබුණ ආන්ඩුවේ ප්‍රබල පුද්ගලයන් රැසක්ම කිට්ටුවෙන් ආශ්‍රය කරලා තිබුණා. ඒ වගේම කාලයක් පුරාවට ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් ද වුණා. රූකාන්ත චන්ද්‍රලේඛා යුවලට පහරදීම හා අනෝජා වීරසිංහ මහත්මියගේ නිවසට ගිනි තැබීම නිසා තමයි ඔහුට වැඩිම ප්‍රසිද්ධියක් ලැබුණේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිගේ උපදෙස් අනුව බැද්දගාන සංජීව අපරාධ සිදුකළ බවට පසුව චෝදනා එල්ලවී තිබුණ අතර මොහු වැඩිපුරම දායක වුණේ දේශපාලන පළිගැනීම් වලටයි. විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් රැසකට පහරදීමට සම්බන්ධ වූ බැද්දගාන සංජීව සටන පත්‍රයේ කතෘවරයා වූ රෝහණ කුමාර ඝාතනයට ද හවුල්වුණා. ඒ වගේම කුමාර් පොන්නම්බලම් ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවුනා. කාලයක් තිස්සේ රජයේ අනුග්‍රහය මත අපරාධ සිදුකළ ඔහු 2001 රජය මාරුවීමත් සමග සැඟැවී සිටියා. පසුව ඔහු ධම්මික අමරසිංහ පාතාල නායකයාගේ මෙහෙයවීමෙන් ඝාතනයට පත්වෙනවා. මෙය ශාක්ෂි සඟවන්න සිදුකළ ඝාතනයක් ලෙසත් එකල චෝදනා එල්ල උනා.

සොත්ති උපලිගේ කාලේ එදිරිවාදී පාතාල කල්ලියක් මෙහෙයවූ චින්තක නලීන් පෙරේරා ජනප්‍රිය වුණේ චින්තක අමරසිංහ කියන නමින්. කාලයක් තිස්සේ අපරාධ රැසකට සහාය වූ පවුලක සාමාජිකයෙක් වුණ උපතින් පෙරේරා කියන වාසගම තිබුණ ඔහු අපරාධ රැසකට සම්බන්ධ වුණ තම මාමා කෙනෙක් වූ නොයෙල් අමරසිංහ ගේ නම පසුව භාවිතයට ගන්නවා. සොත්ති උපාලිගේ කල්ලියේ හිටපු මාළු නිහාල්, චීනා වගේ ප්‍රබල සාමාජිකයින් ඝාතනය වීමත් එක්ක තමයි චින්තක අමරසිංහ කරලියට එන්නේ. කොළඹ හිටපු අපරාධ කල්ලි රාශියකට චින්තක අමරසිංහ ප්‍රහාර එල්ලකරන්නත් කටයුතු කරනවා. මේ නිසා ගොඩාක් පාතාල කල්ලි මොහුව ඝාතනය කරන්න කල් බලමිනුයි හිටියේ. 1996 දී කළු අජිත් මෙහෙයවූ කල්ලියක් විසින් අවසානයේ මොහුව තොටලග ප්‍රදේශයේදී ඝාතනය කරනවා. බොහෝ පාතාල කල්ලි එකල මොහුගේ ඝාතනයේ ප්‍රීතිය සැමරීම සිදුකළ බවක් ප්‍රචලිත වුණා. කොහොම වුණත් ඔහුගේ සොහොයුරා, චින්තකටත් එහාගිය දාමරිකයෙක් බවට පසුව පත්වෙනවා. චින්තක අමරසිංහ ඝාතනය සිදුකළ කළු අජිත්ට වැඩිකල් ජීවත්වෙන්න ඔහු ඉඩ තිබ්බේ නෑ.

1990 දී චින්තක අමරසිංහ ඝාතනයෙන් පසුව ඔහුගේ සොහොයුරා වූ ධම්මික අමරසිංහ එම කල්ලියේ නායකයා වෙනවා. ඒ තමන්ගේ සොහොයුරාගේ ඝාතකයන් වූ කළු අජිත්ගේ කල්ලිය විනාශ කරන්නයි. ඒ අනුව අවුරුද්දක් ඇතුලත කළු අජිත් ඇතුළු ඔහුගේ කල්ලියේ සාමාජිකයින් රැසක් මරා දමන්න ධම්මික අමරසිංහට පුළුවන් වෙනවා.
ඊට පස්සේ 1990 දශකයේ ඉදලා 2004 දක්වා ඊට පසු වැඩිම අපරාධ ප්‍රමාණයකට දායක වුණේ එම කල්ලියයි. ඝාතන 50 කට වැඩි ප්‍රමාණයකට චෝදනා එල්ලවුන ධම්මික අමරසිංහ කල්ලිය, තමන්ගේ එදිරිවාදීන් එක්කත් නිතරම ගැටුනා. රට පුරා සිදුකළ දැවැන්ත බැංකු කොල්ලකෑම් 17කට වැඩි ප්‍රමාණයක් හරහා මොහු විශාල ධනයක් තමන් සතු කරගන්න සමත් වුණා. රජයේ ප්‍රභල මැති ඇමැතවරුන් රැසක් එක්ක කිට්ටු සම්බන්ධතා පවත්වමින් දරුණු ගැටුම් ඇතිකළ ඉතාම සාහසික පාතාල නායකයෙක් හැටියට මොහු ප්‍රසිද්ධ වුණා. මේ නිසා ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම පාතාල නායකයා ලෙසත් හඳුන්වනවා. ගැටුම් නිසා මොහුගේ පවුලේ සාමාජිකයින් 16 දෙනෙක් ඝාතනය වූ නමුත් තමන්ගේ සටන නැවැත්තුවේ නෑ. 2004 දී අත්අඩංගුවට ගෙන අදාල නඩුව අසන අතරතුර උසාවිය තුළදීම ඔහු ඝාතනය උනා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here