විනෝදාංශෙට මුද්දර එකතු කරන එකේ තියෙන වාසි! – Saru News Media

0
10

ඉස්සර ඉස්කෝලෙ යන කාලේ අපි හැමෝටම විනෝදාංශ තියෙන්න ඕන කියලා ඉස්කෝලෙන්ම කියනවා. එතකොට අපෙන් අහනවත් එක්ක මොනවද විනෝදාංශ කියලා. ඒ කාලේ ඉතින් ගොඩක් අයට සුලභවම තිබුණු විනෝදාංශ දෙක තමයි පොත් කියවීමයි, මුද්දර එකතු  කිරීමයි. හැබැයි එහෙම විනෝදාංශේ ඇහුවහම මුද්දර එකතු කරනවා කියලා කිව්වට, ගොඩක් අය එහෙමට මුද්දර එකතු කරලත් නෑ අන්තිමට බලනකොට. ගොඩක් වෙලාවට අම්මා හරි තාත්තා හරි විනෝදාංශෙට එකතු කරපු මුද්දර සෙට් එකකට එක්කො වැඩේ දීලා. එහෙම නැතිනම් ගෙදරට සතියකට එන ලියුමක දෙකක තියෙන මුද්දරයක් දෙකක් ගලෝගෙන එකතු කරගත්තු මුද්දර සූ ගාලා දහයක විස්සක කලෙක්ෂන් එකක් තියාගෙන මුද්දර එකතු කරනවා කියලා ලොරි ටෝක් දීලා. හරි, ඔය කොහොම වුණත්, මුද්දර එකතු කරන එක හොඳ විනෝදාංශයක්. විශේෂයෙන්ම හොඳ ප්‍රතිලාභ තියෙන විනෝදාංශයක්. ආන්න ඒ නිසා, අපි හිතුවා මුද්දර එකතු කරන එකේ තියෙන වාසි ටිකක් ගැන කියන්න. ඕන කෙනෙක්ට ආසාව තියෙනවා නම් අද ඉඳන් වුණත් මුද්දර එකතු කරන්න පටන් ගන්න පුලුවන්.

 

ඇත්තටම විනෝදාංශයක් විදියට මුද්දර එකතු කරනවා කියන්නේ කොහෙන් හරි හම්බෙන මුද්දර ටිකක් පෙට්ටියක දාලා තියාගන්නවා කියන එක නෙවෙයි. ඒක ඊට වඩා සීරියස් වැඩක්. උදාහරණයක් විදියට ගත්තොත්, ලියුම් කවරයක අලවලා තියෙන මුද්දරයක් ප්‍රවේසමෙන් ඇලවිලා තියෙන කොලේ එක්කම ඉරලා අරගෙන, වතුරට දාලා හරි හුමාලයට අල්ලලා හරි මුද්දරේට හානි නොවෙන්න මුද්දරේ කොළෙන් වෙන් කරලා ගලවගන්න ඕන. ඊට පස්සේ ඒක තවත් කොලේක උඩ තියලා, ඒකේ ඇලෙන්නේ නැති වෙන්න වේලගන්න ඕන. ඊට පස්සේ ට්වීසර් එකකින් ප්‍රවේසමෙන් අරගෙන මුද්දර ඇල්බම් එකකට ඇතුළත් කරන්න ඕන. ඒක ඉහළ ඉවසිල්ලක් සහ අවධානයක් අවශ්‍ය වෙන වැඩක්. භාවනාවක් වගේ තමයි. ඉතින් ඉවසීම සහ අවධානය වර්ධනය කරන්න මේක හොඳ විනෝදාංශයක් නෙවෙයිද?

 

මේක තමයි ඉතින් පළවෙනියටම මුද්දර එකතු කිරීමෙන් කෙනෙක්ට ලැබෙන ප්‍රතිලාභය. හරියටම ගත්තොත්. දැන් අපි කලිනුත් කිව්වනේ මුද්දර එකතු කරනවා කියන්නේ හදිසියට කරන්න ඕන දෙයක් නෙවෙයි, ඊට වඩා ඉවසිල්ලෙන් සහ අවධානයෙන් කරන්න ඕන දෙයක් කියලා. දැන් නිකමට හිතන්න, අපි උඩ කියපු විදියට සකසා ගත්තු මුද්දර ටික පිළිවෙලකට සංවිධානය කරලා මුද්දර ඇල්බම් වල ප්‍රවේසමට අසුරා ගන්න එක ගැන. ඒක බොහොම රිලැක්සින් වැඩක් නෙවෙයිද? ඒ විතරක් නෙවෙයි. අපි පුංචි කාලේ එකතු කරපු මුද්දර එකතුවක්, අද වැඩිහිටියෙක් වෙලා ඉන්න කාලෙක පවා ආයෙමත් එළියට අරගෙන නරඹන එකෙන් හිත කොයි තරම් නිස්කලංක වෙනවද? හිතට කොයි තරම් සතුටක් ලැබෙනවද? ආන්න ඒක විශේෂ දෙයක්.

 

සාමාන්‍යයෙන් අපි පොඩි වසරවලදීම ලෝකේ තියෙන රටවල් ගැන ඉගෙන ගන්නවනේ. ඔය භූගෝලය විෂය පොඩි වසර වල ඉඳලම එහෙන් මෙහෙන් උගන්වනවා. හැබැයි අර නිල් පාටයි සුදු පාටයි සිතියම් කොළ වල රටවල් ලකුණු කළා කියලා, ඇත්තටම එහෙම රටවල් ගැන ගැඹුරු දැනුමක් ලැබෙන්නෙ නෑ. ඒත් සිතියමේ විවිධ රටවල් තියෙන තැන ගැන මූලික දැනුම ගත්තට පස්සේ, රටවල් සම්බන්ධයෙන් හොඳ විශේෂීකරණ දැනුමක් ලබාගන්න පුලුවන් මුද්දර එකතු කරන විනෝදාංශය හරහා. ඒ සම්බන්ධයෙන් එක දෙයක් විදියට කියන්න පුලුවන්, රටවල් සම්බන්ධ සංස්කෘතික දැනුම පවා මුද්දර හරහා ලබාගන්න පුලුවන් කියලා. ඇයි එහෙම කියන්නේ? ඕනම රටක මුද්දර වලට ඇතුළත් කරන්නේ ඒ රටට ආවේණික දේවල් ගොඩක් වෙලාවට. එහෙම නැතිනම් ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී දේවල්. උදාහරණ විදියට කිව්වොත්, යම් රටක මුද්දර වල ඒ රටේ ජාතික පුෂ්පය, ජාතික සත්වයා වගේ දේවල් ඉදිරිපත් වෙනවා. එහෙම නැතිනම් ඒ රටේ ජාතික වීරයෝ ඉදිරිපත් වෙනවා. ඒ රටට වැදගත් ඓතිහාසික චරිත ඉදිරිපත් වෙනවා. ඔය කීපයක් විතරයි.

 

මෙන්න මේකත්, හරියට කාලයක් තිස්සේ මුද්දර එකතු කරපු කෙනෙක්ට ලැබෙන දෙයක්. ඒ තමයි, ලෝකේ විවිධ රටවල මුද්දර සහ තැපැල් ඉතිහාසයන් ගැන හොඳ ප්‍රවීණත්වයක්. හැබැයි ඒ ප්‍රවීණත්වය එතනින් එහාට නතර වෙන්නෙ නෑ. විශේෂයෙන්ම මේ දැනුම අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්, දේවල් වැඩිදුර අන්තර්ජාලයෙන් හොයාබලන්න පුලුවන් යුගයේ, ඒ ප්‍රවීණත්වය විවිධ රටවල ඉතිහාසය, සංස්කෘතිය ගැන එහෙමත් දැනගන්න පාවිච්චි කරන්න පුලුවන්. අපි උදාහරණයක් ගමු. දැන් හංගේරියාවේ මුද්දර වල සාමාන්‍යයෙන් හංගෙරි කියලා ගහන්නෙ නෑ. ඒ අය ගහන්නෙ මග්යාර් පෝස්ටා කියලා. ඉතින් එහෙම මුද්දරයක් හම්බුණහම ඒක හංගේරියාවේ කියලා දැනගන්න නම් ඔය උඩ කියපු ප්‍රවීණත්වය තියෙන්න ඕන. දැන් තව හොයලා බැලුවොත් මොකක්ද මේ මග්යාර් කියන්නේ කියලා, කෙනෙක්ට දැනගන්න පුලුවන්, හංගේරියානුවන්ට ඇත්තටම කියන්නේ මග්යාර්වරු කියලා. ඒ කියන්නේ ඌරල් කඳුවැටියෙන් ඇවිත් ක්‍රි.ව.9 වෙනි ශතවර්ෂයේදී දැන් හංගේරියාව තියෙන භූමිභාගයේ පදිංචි වුණු අය. හැබැයි ඇත්තටම ඔතනින් නවතින්නෙත් නෑ. හංගේරියාවේ මුද්දර වල ඉතිහාසය, හංගේරියානු ඉතිහාසයත් එක්ක දැඩිව බැඳී තියෙනවා. ඉතින් අවශ්‍යකමක් තියෙන අයට ඒ සම්පූර්ණ ඉතිහාස පාඩමම ඉගෙන ගන්න මග පෑදෙනවා හංගේරියානු මුද්දරයකින්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here