දැන් ඔය අපිට අවශ්‍ය දත්ත අපි කම්පියුටර් එකේ නම් හාඩ් එකේ සේව් කරනවනේ. හැබැයි ඊට අමතරව දත්ත තැන්පත් කරල තියන්න බාහිර උපාංගත් අපි පාවිච්චි කරනවා. මුල්ම කාලේ අපි ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කළා. ඊට පස්සේ සීඩී, ඩීවීඩී වල අවශ්‍ය දත්ත රයිට් කරලා සේව් කරන්නත් පටන් ගත්තා. ඔය කාලෙදී ආවා පෙන් ඩ්‍රයිව්. එතකොට පෙන් ඩ්‍රයිව් එකක වුණත් ඩේටා දාලා තැනින් තැන ගෙනියන්න පුලුවන්. ඒත් ඔය ක්‍රම වලින් අපිට ලැබුණු ධාරිතාවය, කම්පියුටරේ හාඩ් එකට සාපේක්ෂව සීමිතයි. හැබැයි මුල් කාලේ ඔය මොකුත් නැතුව අපිට ඩේටා එහෙ මෙහේ ගෙනියන්න ඕන වුණහම කම්පියුටරේ හාඩ් එක ගලවලා අරගෙන ගිහින් තවත් කම්පියුටරේකට ස්ලේව් කරලා ගහපු අතීතෙකුත් අපිට තියෙනවා.
හැබැයි කාලය ගතවෙනකොට ආවා කම්පියුටර් එකේ හාඩ් එකේ තරම් හෝ ඊටත් වැඩියෙන් ප්‍රමාණයක් ඩේටා සේව් කරන්න පුලුවන් බාහිර දෘඩ තැටි, එහෙම නැතිනම් එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව්ස්. දැන් වෙනකොට ටෙරාබයිට් 1 ක නැතිනම් 2 ක එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකක් කියන්නේ ගොඩක් වෙලාවට පෙන් ඩ්‍රයිව් එකක් වගේම සාමාන්‍ය දෙයක්. ඒ ඇරෙන්න ඉතින් ටෙරාබයිට් 4, ටෙරාබයිට් 8, ටෙරාබයිට් 16, ටෙරාබයිට් 20 වගේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව්ස් එහෙමත් දැන් ගන්න තියෙනවා. දැන් කවුරුත් සීඩී/ඩීවීඩී පාවිච්චි කරන්නෙ නැති තරම්නේ. ඒ නිසා ගොඩක් දෙනෙක් පෙන් ඩ්‍රයිව් නැතිනම් එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් වලට හුරුවෙලා තියෙනවා. මේවා පාවිච්චි කරන්නේ ඩේටා සේව් කරලා තියන්න සහ තැනින් තැනට අරගෙන යන්න.
හැබැයි මීට අමතරව එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එකකින් ගන්න පුලුවන් ප්‍රයෝජනත් නැද්ද? තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ප්‍රයෝජන ලැයිස්තුවක්!
සාමාන්‍යයෙන් ක්ලවුඩ් ස්ටෝරේජ් වලට අපි ගොඩක් දෙනෙක් දැන් හුරු වෙලා ඉන්නවනේ. ක්ලවුඩ් ස්ටෝරේජ් එකක තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි, ලෝකේ ඕනෙම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන තැනක ඉඳලා ඒකට සම්බන්ධ වෙලා, අපිට අවශ්‍ය දත්ත ලබාගන්න, එහෙම නැතිනම් අපිට අවශ්‍ය ක්ලවුඩ් ඇප් එකකින් අපේ වැඩ කරගන්න තියෙන පහසුව. ගූග්ල් ඩ්‍රයිව් නැතිනම් වන් ඩ්‍රයිව් කියන්නේ ඔය ක්ලවුඩ් ස්ටෝරේජ් වලට උදාහරණ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය නොමිලේ දෙන ක්ලවුඩ් ඩ්‍රයිව් ගොඩක් ඒවා දැන් කාලෙට ගැලපෙන විදියේ ධාරිතාවයක නෑ. ගොඩක් ඒවලින් උපරිම ලැබෙන්නෙත් ගිගාබයිට් 100 ක්, ගිගාබයිට් 200 ක් විතර තමයි. ඊට එහා ගන්න නම් සල්ලි දෙන්න වෙනවා.
අපේ කම්පියුටර් එකක තියෙන දත්ත වල වටිනාකම අපිට හරියටම වැටහෙන්නේ ඒවා නැතිව ගියපු දවසට කියන එක බොරුවක් නෙවෙයිනේ. ඔය හාඩ් එකකට එහෙම කෙළ වෙලා අත්‍යවශ්‍ය ලිපිගොනු එහෙම නැතිවෙලා ගියපු අය දන්නවා ඒවා ආයෙ රිකවර් කරන්න විඳින්න වෙන දුක. ආන්න ඒ නිසා තමයි දැන් ඔය ගොඩක් ඇප්ස් එක්ක, ඔපරේටින් සිස්ටම් එක්ක බැක්අප් ඔප්ෂන් එක එන්නේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. අපිට ඕවා බැක්අප් කරන්නත් මතක් වෙන්න ඕනනේ. ඒකටත් විසඳුමක් තියෙනවා. ඔටෝමැටික් බැක්අප්. ඔටෝමැටික් බැක්අප් විකල්පය සක්‍රිය කරලා තිබ්බහම, අපි දෙන කාලයකට සැරයක් ස්වයංක්‍රීයව අදාළ ඇප් එකේ හරි ඕඑස් එකේ හරි ඩේටා බැක්අප් වෙනවා. ඔන්න ඔය බැක්අප් වීමටත් ඉඩක් ඕනනේ. ඒ ඉඩ ලබාගන්න පුලුවන් අපිට එක්ස්ටර්නල් හාඩ් එකකින්.
දැන් අපිට ආරක්ෂා කරගන්න ඕන සංවේදී ඩොකියුමන්ට් නැතිනම් ඒ වගේ ලොකු ඉඩක් ගන්නෙ නැති ෆයිල්ස් තියෙනවා නම්, ලේසියෙන්ම පෙන් ඩ්‍රයිව් එකකට දාලා, ඒක එන්ක්‍රිප්ට් කරගන්න පුලුවන්. හැබැයි සමහර වෙලාවට, අපිට වෙනත් කෙනෙක්ට ප්‍රවේශ වෙන්න බැරි විදියට ආරක්ෂා කරන්න අවශ්‍ය වෙන්නේ ටිකක් ලොකු ෆයිල්ස් වෙන්න පුලුවන්. අපි කියමු සමහර විට ඔය ගිගාබයිට් බර ගාණක ඉඩක් යන ලොකු ඩිසයින් ෆයිල්ස් කියලා. ඒවා පෙන් ඩ්‍රයිව් එකක සේව් කරලා තියන එක ප්‍රායෝගික නෑ. හැබැයි ඇත්තටම අපිට අපේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් එක වුණත් එන්ක්‍රිප්ටඩ් ඩ්‍රයිව් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ වෙනත් කෙනෙක්ට ප්‍රවේශ වෙන්න බැරි විදියට පාස්වර්ඩ් දාලා ප්‍රොටෙක්ට් කරන්න පුලුවන්. ඒක ඔපරේටින් සිස්ටම් එකෙන්ම කරන්නත් පුලුවන්. වෙන ඇප් එකක් හරහා කරන්නත් පුලුවන්. හැබැයි දැන් එන අලුත් පන්නයේ එක්ස්ටර්නල් හාඩ් ඩ්‍රයිව් වල ඔය එන්ක්‍රිප්ෂන් පහසුකම තියෙනවා. ආරක්ෂාවත් වැඩියි.
Saru FM Media