ඒරියා 51 ගැන මොනවද ඔයාලා දන්නෙ? – Saru News Media

0
13

ලෝක බලවතාගේ රහස්‍ රකින අභිරහස් ස්ථානය “ඒරියා 51” ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒරියා 51 ගැන එක එක්කෙනාට විවිධ මත තියෙනවා. ඒ කිට්ටුව ජීවත් වෙන මිනිස්සු දැක්කයි කියන දේවල්, ඒකෙ වැඩ කරපු අය දැක්කයි කියන දේවල් වගේම ඒරියා 51 තියෙන්නෙ කොහෙදවත් නොදැන ඒ ගැන හැමදේම දන්නව වගේ කතා කරන අය කියන දේවලුත් ගොඩක් තියෙනවා. කොහොම ගත්තත් ඒරියා 51 කියන්නෙ ඇත්තටම කොහොම තැනක්ද කියල දන්නෙ ඒකෙ ඉන්න අයම තමා. අපිට පුළුවන් වෙන්නෙ එක එක දේවල් එහෙම වෙන්න ඇති කියල හිතන්න විතරයි. මේ සමහර දේවල් ඔයාල අහලත් ඇති නැතුවත් ඇති. ඉතින් වෙනස් මාතෘකාවක් ගැන දැනගන්න කැමති අයටයි මේ ලිපිය. 

 

මේක ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තියන 1955දි ගොඩනගපු ගුවන් හමුදා කඳවුරක්. මේක ඇමරිකාවේ රහස් කඳවුරක් විදියට තමයි තියෙන්නෙ. අඩුම තරමෙ මේ ඒරියා එකට උඩින් ගුවන්‍ යානයකටවත් පියාසර කරන්න බෑ. ඒ තරම් රහසිගත සහ ආරක්ෂිත ස්ථානයක්. මේකට සේවකයින්, විද්‍යාඥයින් බඳවගන්නව කියන්නෙත් බොහොම පරිස්සමෙන්. සෑහෙන කාලයක් රහස්‍යභාවය උපරිමයෙන්ම රැකගෙන ආපු ඇමරිකාවේ තියන අති ප්‍රබල ඔත්තු සැපයීමේ හා අවි නිපදවීමේ ස්ථානයක් කියල හඳුන්වන්නත් පුළුවන්. මේකෙ තියන රහසිගත බව නිසාම ඉතින් ලෝක ජනයා විශ්වාස කරන්නෙ පිටසක්වල ගණුදෙනු මෙතන සිදුවෙනවා ඇති කියලා. මේකට යාබදව තියෙන්නෙත් අධි ආරක්ෂිත කලාප වෙන නෙවාඩා පරීක්ෂණ සහ පුහුණු මධ්‍යස්ථානය සහ ඇමරිකානු න්‍යෂ්ටික පරික්ෂණ මධ්‍යස්ථානයයි. 

 

ඇමරිකානු රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ 1955 ඉඳලා පවත්වාගෙන ආපු මේ ස්ථානය අදටත් ලෝකයට නිරාවරණය වී නැහැ. මේක නිර්මාණය වුණා කියන්නෙ සෝවියට් සමූහාණ්ඩුවයි ඇමරිකාවයි අතර තිබ්බ සීතල යුද්ධය කාලෙදි එයාර් ක්‍රාෆ්ට්ස් අත්හදා බලන්න සහ පරීක්ෂණ පවත්වන්න. ඇමරිකාව කොහෙත්ම පිළිගන්න සූදානම් වුනේ නෑ ඔවුන්ගෙ රටේ මේ වගේ තැනක් තියනවා කියලා. 2013 අවුරුද්දෙ ඔවුන්ට නිල වශයෙන් ප්‍රකාශ කරන්න වුණා ඔවුන් මේ ස්ථානය පවත්වාගෙන යනවා කියලා. බැරක් ඔබාමා තමයි මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරපු පළමු ජනාධිපති වෙන්නෙ. ඒ වගේම ඒරියා 51 වලින් කරපු රහසිගත මෙහෙයුම් වාර්තා කිහිපයක් සාමාන්‍ය ජනතාවට බලාගන්න මාධ්‍යයට මුදා හැරලත් තිබුණා. ඒ උනත් ලෝක බලවතා ලෝකෙන් හංගන රහස් අතරින් අදටත් සාර්ථකව කරගෙන යන ස්ථානය තමයි මේ ඒරියා 51 කියන්නෙ. 

 

1955 පටන් ගත්තු ඒරියා 51 මුල්ම ව්‍යාපෘතිය වෙලා තියෙන්නෙ Aquatone. මේකේ අරමුණ වෙලා තිබුණේ රේඩාර් වලට අහු නොවෙන විදියෙ ගුවන්යානාවක් හදන එකයි. රුසියාවෙ ඔත්තු හා රහස් සොයා බැලීම් වලටයි මුලින්ම Aquatone ව්‍යාපෘතිය හරහා U2 කියන විශේෂ යානය හැදුවෙ. එකල තාක්ෂණයත් එක්ක ඒ වගේ රේඩාර් වලට අහු නොවෙන යානාවක් හදා ගැනීම අසීරු වුණ නිසා ඔවුන් රේඩාර්වලට ඉහළින් ගමන් කරන පුළුවන් විදියට අඩි 72,000කට වඩා උඩින් යන්න මේ යානය නිෂ්පාදනය කළා. ඉතාමත් රහසිගත විදියට සිදුවුණු මේ ව්‍යාපෘතියේ සේවකයන්වත් දන්නෑ මේකේ සම්පූර්ණ විස්තරය. 

හැබැයි 1960 වගේ වෙනකොට රුසියාවෙන් මේ U2 යානයට මිසයිල ප්‍රහාර එල්ල වුණා. ඒත් ඉතින් ඇමරිකාව ඒවට සූදානමින් හිටියේ.  ඒකෙන් පස්සෙ එයාලා ඊට වඩා වැඩි දියුණු වුණ යානා නිෂ්පාදනය කළා. වඩා වැඩි උසකින් රේඩාර් වලට අහු නොවෙන්න පියාසර කරන්න පුළුවන් යාන කිහිපයක්ම ඔවුන් එක එක ව්‍යාපෘති යටතේ නිර්මාණය කළා. නම් වශයෙන් කියනව නම්, Project Have Doughnut, Project Oxcart, Project Have Blue, Boeing YF – 118G Bird of prey මේ අතරින් කිහිපයක්. මේවා සෑහෙන්න රහසිගතව කරල තියෙන ප්‍රොජෙක්ට්ස්. 

ඒ වගේම එයාලට අවශ්‍ය වුණේ ලෝක යුද්ධ වලට අවශ්‍ය රහසිගත පරීක්ෂණ කරන්න වගේම අවි නිෂ්පාදනය කරන්නයි. ගුවන්‍ යානා අත්හදාබැලීම් වලට අවශ්‍ය අවකාශය ඒරියා 51 තුළ තියන නිසා වගේම මෙහි නිෂ්පාදනය කරපු යානා සියල්ලක්ම ඔත්තු බැලීම් වලට හදපු නිසා මේ ඒරියා එකට උඩින් වෙනත් කිසිම ගුවන් යානයකට පියාසර කරන්න අවසර නෑ. 

 

අන්තර්ජාලයේ සඳහන් වෙන විදියට මේ ස්ථානයේ උපකරණයක් හදලා තියනවා ලෝකෙම කාලගුණය වෙනස් කළ හැකි විදියට. මේ ගැන එළියට ආවේ මේ ස්ථානයේ සේවය කරලා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න අයගෙ යම් යම් හෙළිදරව් වලින්. හාර්බ් කියන මේ උපකරණය මෙහි තියනවා කියලා හිතන්න පුළුවන් විදියෙ දෙයක් 2016 අවුරුද්දෙ වෙලා තියනවා. ඒරියා 51 පුරාවටම ලොකු දුමක් පැතිරිලා ඒ ප්‍රදේශයම වැහෙන්න තරම්. පර්යේෂකයන් කියන්නෙ අර හාර්බ් කියන උපකරණය අත්හදා බලපු අවස්ථාවක් මේක කියලා. ඒ වගේම මේ සුවිශේෂී උපකරණයට රේඩියෝ තරංග සන්නිවේදනය කිරීමේ හැකියාවක් තියනවා කියලත් කියනවා. මේවයෙ ඇත්ත නැත්ත හරියටම කියන්න කාටවත් පුළුවන් කමක් නෑ. මොකද විශ්‍රාමික අයට වුණත් එහෙම රහස් එළි කරන්න ඉඩ දෙනවා නම් මේ තැන තියෙන රහසිගත බව මෙච්චර කල් පවත්වගන්න බැහැ කියන එක අපි තේරුම් ගන්න එපැයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here