සඳ ගමනේ කතන්දරය – Saru News Media

0
10

සඳ මිදුලට එනවා කියල මර්වින් පෙරේරා මහත්මය ඒ කාලෙ කිව්වට හැබෑ ලෝකයේ සිදුවුණේ මිනිසා හඳ සොයාගෙන ගියපු එක. මානව ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් එහෙමත් නැත්තම් ලොකූ ජයග්‍රහණයක් විදිහට තමයි අදටත් මේ සඳ තරණය සැලකෙන්නේ. මේ සුවිශේෂී සිදුවීම ගැන විවිධ මතභේදාත්මක කතන්දර තිබුණත් මිනිස්සු විදිහට අපි හැමෝම පුංචියට හරි ආඩම්බර වෙන කාරණයක් තමයි මිනිසා සඳට ගොඩබැස්සා කියන කාරණය. ඉතින් මේ වැදගත් සිදුවීමේ අග මුල දන්න නොදන්න කාටත් කියවන්න ලියල තිබුනොත් හොඳයි කියලා අපිට හිතුණා. මේ කියන්න යන්නෙ හඳට ගොඩබහින්න අපි දරපු උත්සාහය, මුහුණදීපු බාධක වගේම ජයග්‍රහණයේ සම්පුර්ණ කතන්දරය.

 

සඳ ගමනේ මූලිකම අදහස ඇතිවෙන්නේ සීතල යුද්ධයක ප්‍රතිඵලයක් විදිහට. ඒ ඇමරිකානු රජයයි සෝවියට් සංගමයයි අතරේ පැවතුණ සීතල යුද්ධය. සෝවියට් සංගමය 1957 ස්පුට්නික් 1 කියන පළමු කෘත්‍රීම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කිරීමත් එක්ක ඇමරිකානුවන් ටිකක් තැති ගන්නවා සෝවියට් සංගමයේ හැකියාවන් පිළිබඳව. ඒ උණුසුමත් එක්කම තමයි එවකට ඇමරිකානු ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර් මහතා National Aeronautics and Space Administration හෙවත් NASA ආයතනය පිහිටුවල මේ අභ්‍යවකාශ කතන්දරය ආරම්භ කරන්නෙ. හැබැයි ඇමරිකාව ඉස්සර වෙන්න උත්සාහ කළාට මුලින්ම අභ්‍යවකාශයට මිනිසෙක් යවන්න සමත් වෙන්නෙත් සෝවියට් සංගමය. ඒ 1961 අප්‍රේල් මාසයේ යූරි ගගාරින් නමැති ගගනගාමියගේ අභ්‍යවකාශ ගමනත් එක්ක. මේ සිදුවීමෙන් මාසයකට පස්සේ තමයි මුල්ම ඇමරිකානුවා අභ්‍යාවකාශයට යන්නේ.

ඉතින් මේ සිදුවීම් ඔක්කොම නිසා ඩ්වයිට් මහතාට පස්සේ ඇමරිකානු ජනාධිපති බවට පත්වුණු ජෝන් එෆ්. කෙනඩි නාසා ආයතනය එක්ක සාකච්ඡා කරලා මේ සඳ ගමන වෙනුවෙන් වැඩ කරන්න තීරණය කරනවා. මේ ව්‍යාපෘතිය ඇපලෝ නමින් නම් කෙරෙනවා.

 

 

සඳ මත සාර්ථකව ගොඩබස්සපු ඇපලෝ 11 යානයේ කණ්ඩායම වෙන්නෙ යානයේ ප්‍රධාන නියමුවා විදිහට නීල් ආම්ස්ට්‍රෝන් මහතාත්, විධාන මොඩියුල නියමුවා විදිහට මයිකල් කොලින්ස් මහතාත්, චන්ද්‍ර මොඩියුල නියමුවා විදිහට එඩ්වින් ඔල්ඩ්රින් මහතාත්. හැබැයි හඳ මතට ගොඩ බසින්නේ චන්ද්‍ර මොඩියුලයේ හිටපු නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ එඩ්වින් ඔල්ඩ්රින් පමණයි.

 

මෙහෙයුමේ නිල ලාංඡනය තෝරාගැනීම පවා ඉතාම පරිස්සමට, බොහෝ කාරණා සැලකිල්ලට අරගෙන සිදුකෙරුණු දෙයක්. ඒ වගේම මෙහෙයුමේ ප්‍රධාන මොඩියුලය සහ චන්ද්‍ර මොඩියුලය කියන දෙක හඳුනාගැනීමේ පහසුවට පිළිවෙළින් කොලොම්බියා සහ ඊගල් යනුවෙන් නම්කෙරිල තියෙනවා. ඒ වගේම මෙහෙයුමට සහභාගීවෙන ගගනගාමීන්ට ඔවුන් කැමැති පෞද්ගලික අයිතමයන් කිහිපයක් ගමනට රැගෙන යන්න අවසර තිබුණා. හැබැයි මේ රැගෙන ගිය සියළු අයිතමයන්ගේ බර වුණේ කිලෝ ග්රෑම් 0.23ක් වගේ ඉතා කුඩා ප්‍රමාණයක්.

වසර දෙකක් තිස්සේ සිදුකළ මෙහෙයුම්වලින් ලබාගත් ඡායාරූප පදනම් කරගෙන බොහෝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ආවට අඩු, පැතලි ස්ථානයක් ගොඩබෑම සඳහා තෝරා ගැනුණා. මතභේදාත්මක අදහස් කිහිපයකට පස්සේ සඳ මත මුලින්ම ගොඩබහින්නේ ප්‍රධාන නියමුවා වන නීල් ආම්ස්ට්‍රෝන්ග් බවට 1969 අප්‍රේල් 14 වෙනිදා නිල වශයෙන් නිවේදනය කෙරුණා.

 

ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, කැබිනට් සාමාජිකයින්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඇතුළුව ආසන්න වශයෙන් මිලියනයක ජනකායක් මේ සිදුවීම සජීවීව නරඹන්න යානය දියත් කරන ස්ථානයට ආසන්න මාර්ග, වෙරළතීරයන් අසල රැස්වී සිටියා. ඒ වගේම දෙස් විදෙස් මාධ්‍ය නියෝජිතයන් ඉතා විශාල සංඛ්‍යාවක් සිදුවීමේ මාධ්‍ය ආවරණයන් කරන්න පොරකමින් බලා සිටියා. මෙම ඉතිහාසගත සිදුවීම රටවල් 33ක සජීවීව විකාශනය වුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here