පමා වී පිපුණු මල් 18 – Saru News Media

0
20

“ඔන්න අපි ට්‍රීට් දෙන්නෙත් මෙහෙම”

“ගන්නෙත් මෙහෙම” කියා මහ හඬින් සිනාසෙමින් කේශීනි සමග ටින් කිරි තේ වීදුරුවට චියර්ස් දැම්මේ භාශිත ය.

අරුණලී උන්නේ ටින් කිරි තේ වීදුරුව අතේ තබාගෙන සෙමින් හුලං පිඹිමින් එය් නිවෙන්නට් හැර ය. බ්‍රහස්පතින්දා දවසක් නිසා කණ්ඩායමේ සියලුම දෙනා මේ ටින් කිරි තේ පාටියට ආවේ නැත. සමහරුන්ට ගෙදර වැඩය. තව සමහරුන්ට විභාග සඳහා සූදානම් වෙන්නට තිබේ. ඉතින් අරුණලිගේ ටින් කිරි තේ පාටියට ආවේ කේශිනීත් භාශිතත් දෙව්මිණීත් ශැනනුත් පමණකි.

“මිල්ක්මේඩ් තේ බොන්නෙ සෑහෙන කාලෙකින්” අරුණලී එසේ කිව්වේ සෙමෙන් සැරේ තේ උගුරක් සුරුස් ගා උගුරෙන් පහලට යවමිනි.

” ඒ මිල්ක්මේඩ් තේ? මුන් නං මේ බොරුවට කැම්පස් ගිය උන්ද කොහෙද? කවුද බං මේවට මිල්ක්මේඩ් තේ කියන්නෙ. ටින් කිරි තේ කියපන්කො”

කේශිනී සුපුරුදු ලෙස නෝක්කාඩු කියද්දි වුව අරුණලී ඒවා භාරගත්තේ සතුටෙනි, සැහැල්ලුවෙනි. මේ සතුට තමා සොයා ඇවිත් තිබෙන්නේ බොහෝ කාලයකට පසුවය. අනෙක් අතට වෙනදා මෙන් විශ්ව විද්‍යාලයේ මිතුරන් සමග වුව තමා එහෙමකට කියා මෙනුකගේ ප්‍රශ්නයෙන් පසු කතා කරන්නට නොගියේ ලැජ්ජාව නිසාය. ඉතින් මේ මිතුරු හමුව වඩා සුවදායීය.

“මේක මාර රහයි අරවත් උගුරක් දෙකක් දැම්ම නම්” කියා මෙච්චර වෙලා කටවහගෙන උන් ශැනන් කියන්නේ කෙල්ලන් දෙසට පැණි හිනාවක් දමමිනි.

ඒ කතාවේ අගක් මුලක් තමා නොදන්නා නමුත් කේශිනී ඇතුලු අනෙක් මිතුරන්ට නම් එය අමුතු කතාවක් නොවන බව අරුණලී තේරුම් ගත්තේ මුහුණු මත ඇඳී තිබුණු පෙනුමෙනි.

“අපෝ මේ උඹේ ඔය වියර්ඩ් ෆුඩ් කම්බිනේශන්ස් ඔන්න අරුණලීට නම් පුරුදු කරන්න එපා.මුගෙ ඔය ජරා කෑමපුරුදු උනානෙ අර වත්සල ගොනත්. ජොයින් වෙද්දි අපූරුවට උන්නු කොල්ලව කෑව මූ” 

කේශිනී කියන්නේ නෝක්කාඩු බැල්මකින් මූණ විකෘති කරගෙනය. 

“හරි ද අරුණලී මූ ඔයාට මොනවහරි කන්න ගෙනත් දුන්නොත් ඔන්න පොඩ්ඩක් පරිස්සමෙන් හොඳේ.”

“අපෝ ඔව්, මූ හරි ටින් කිරි තේ එකකට් වොඩ්කා දාල බිව්ව ඩයල් එකක්නෙ. ඒ හන්දා අමෘතෙ ගෙනල්ල දුන්නත් ඔන්න කීප සැරයක් හිතල බලල බොන්න කන්න. මොකෝ මැරෙන්නත් පුලුවන්”

“මුගෙ පිටේ බෝඩ් එකක් ගහන්න ඕන පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න කියල”

විහිලු තහලු මැද්දේ කාලය ගෙවෙනවා තේරෙන්නෙ නැති තරම් ය. තමා මෙතෙක් දවස් ජීවත් වී තිබෙන්නේ සිනාසෙන්නට අමතකවූ පරිද්දෙන් බව අරුණලීට දැනුනේ ඒ මොහොතේය. ජීවිතය යන්තම් හෝ දැනෙන්නේ බොහෝ දවසකට පසුව බව අරුණලීට හැඟුණි.

ටින් කිරි තේ බොන්නට අරුණලී මිතුරන් සමග ආවේ කාර්‍යාලයේ සිට විනාඩි කිහිපයක දුරින් තිබූ කුඩා රෙස්ටුරන්ට් එකකටය. ඒ ලා තැඹිලි පැහැ බෝගන්විලා යායකින් වැසී තිබුන, මහ පාරක් අසල පිහිටා තිබුනද ඒ නාගරික බවින් මිදී ගියා යැයි හඟවන කුඩා නමුත් මනහර තැනකටය. ලා තැඹිලි පැහැ විශාල බෝගන්විලා යාය හිසට ඉහලින් අතු පතර විහිදමින් තිබෙද්දී අරුණලී සහ මිතුරන් අසුන්ගෙන උන්නේ ඒ වියන යට සෙවණැති තැනක පනවා තිබූ ලී බංකු මතය. එහෙමකට කියා සෙනගක් නොහිටියද තැන් කිහිපයක තුරුලු වී මුමුණමින් උන් පෙම්වතුන් කිහිප දෙනෙකි.

වෙන මොහොතක වූවානම් ඒ පෙම්වතුන් දෙස බල ඉන්නට වීම හිතට දුකක් ගෙන එන්නක් වුවද කුමක් හෝ අපහැදිලි හේතුවක් නිසාවෙන් අරුණලී උන්නේ සතුටකිනි. ඉමිහිරි ටින් කිරි තේක දිවද අපූරු මිතුරු හමුව සිතද මිහිරි රසයකින් පුරවා තිබීම එයට හේතුව විය.

කල්පනා ලෝකය කොතෙක් දුර ඇදී ගියද ආපසු හැරී යතාර්තයට එන්නට වන බව අරුණලී දැන උන්නාය එහෙත් ඒ ටින් කිරි තේ ඉමිහිරියාව රැඳුණු, ලා තැඹිලි පැහැ බෝගන්විලා යායක් යට සැඳෑවක්දී බව ඇය දැන උන්නේ නැත.

“වීරේ” කේශිනී මහ හඬින් කෑ ගැසුවේත්, අරුණලී තිගැස්සුන විට ටින් කිරි තේ බිඳක් ඇය හැඳ උන් ලා කහ පැහැ ගවුම මතට වැටුනේත් එකම වරය.

බෝගන්විලා යායට එහා පස පාරේ හිටගෙන තමන් ඇතුලු පිරිස දෙස බලා උන්නේ තම අංශ ප්‍රධානියාය. කිම වීරවර්ධන ය. ඔහුගේ බැල්ම පවා සිත අපහසුවට පත් කරවන්නක් වුවද කේශිනීගේ ඇරයුම පිලිගෙන කිමල් වීරවර්ධන එදෙසට පියනමද්දී එය වලක්වන්නට හැකියාවක් අරුණලීට තිබුනේ නැත. අනෙක් අතට තමන්ට වෙනස් විදියකින් සැලකුවද කිමල් වීරවර්ධන වනාහී ක්‍රියේටිව් අංශයේ පමණක් නොව මුලු කාර්‍යාලයේම සිත දිනාගත්තෙකු බව නොරහසකි.

“කට්ටියම ආවද ටින් කිරි තේ බොන්න?” කියමින් කිමල් එහි වාඩි උනේ අරුණලී කරා විහිදෙන්නට යන දෙනෙත් බැල්ම අපහසුවෙන් ඉවත හරවමිනි. මෙවන් සැඳෑබර, නිස්කාන්සු මොහොතක තමන්ගේ සිත ඇතුලේ ඇය වෙනුවෙන් ඇඳී ඇති ලා පැහැති හැඟීම් එලියට පනිනු ඇතැයි යන බිය එයට හේතුව විය.

කිමල් වීරවර්ධන අරුණලී ගැන නොසෙව්වා නොවේ. එහෙත් මුහුණුපොතේ එහෙමකට කියා ඇයට පෙම්වතෙකු හිඳින බව හඟවන විස්තරයක් තිබුනේ නැත. ජායාරූප වල පවා ඇය සහ පවුලෙ අය හෝ මිතුරු මිතුරියන් මිස ඇයට සුවිශේශී කිසිවෙකු හිඳින බව පෙනෙන්නට තිබුනේ නැත. එහෙත් එහෙමයි කියා සිත සනසාගන්නට නොහැක. හිතේ ඇති හැඟීම් ඇයට පවසා ඒ ලා පැහැ හැඟීම් වඩා තද පැහැති ඒවා කරගන්නට තිබුනා නම් සැනසුමෛ.

“අද අරුණි අපිට ට්‍රීට් එකක් දුන්නනෙ එයාගෙ ෆස්ට් පිච් එක සක්සස් උනාට” කේශිනී සුපුරුදු හිතවත්කමෙන් කිව්වද අරුණලී බිය වුනේ කිමල් වීරවර්ධනගේ සුපුරුදු සමච්චල් සහගත සිනව හෝ වදන් පිටතට විත් මේ සොඳුරු සුයාමය විනාස කරවනු ඇතැයි කියාය.

එහෙත් කිමල් උන්නේ ඒ මොහොත විනාස කරවන අදහසකින් නොවේ. 

“අනේ මන්ද අපිට නං ඉන්විටේශන් එකක් ආවෙ නෑ ටින් කිරි තේ ට්‍රීට් එකකට” ඒ මොහොතේ කිමල් ගේ මුහුණේ තිබුනේ තමා මෙලොව පිරිමි මුහුණක දුටු වඩාත්ම සුන්දර සිනහව සහ බැල්ම බව මොහොතකට සිතුනද අරුණලී වහා ඒ සිතුවිල්ල සිතෙන් ඉවත් කරගත්තාය. 

මේ තමන්ගේ කාර්‍යාල අංශ ප්‍රධනියාය. අනෙක් අතට තමා විවාහයක් මග අත හැර දමා එකියකි.  

“ආහ් ඔන්න අරුණලී ටේක් නෝට්ස් හරිද? මේ නෝක්කාඩු අන්තිමේ සික්ස් මන්ත් ඉවැලුවේශන් වලින් තමයි යන්නෙ අන්තිමේ”

“ආහ් දැන් අපි කවද්ද කියපන්කො උඹලගෙ ඉවැලුවේශන් වලින් ලකුණු කැපුවෙ?” කියා සිනාසෙමින් කිමල් මේසය මත අරුණලී විසින් අඩක් බී නිමකරන ලද ටින් කිරි තේ කෝප්පයෙන් උගුරක් රස වින්දාය. ඒ අරුණලීගේ කෝප්පය බව කිමල් දැන උන්නේ නැත. අනෙක් අතට එහි අමුත්තක් කිසිවෙකුත් දුටුවේ නැත. මේ මිතුරන් ය. විවිධ තරාතිරම්වල රැකියා කරද මිතුරන් ය. එහෙත් අරුණලී උන්නේ මදක් තිගැස්සීය.

“දුමක් දාලා එන්නම්” කියා කේශිනී ශැනන් සහ භාශිත සමග නැගිට මදකට එහාට ගියේත් අරුණලීගේ දුරකතනයට ඇමතුම ආවේත් එකම මොහොතකය. ඒ ඇමතුම එන්නේ වෙන රටකින් බවත් ඒ මෙනුක විය හැකි බවත් අරුණලී දැන උන්නාය. මේ ඇමතුම නොගෙන ඉන්නට හැකි නමුත් මෙනුක ඇමතුම් ගැනීම නොනවත්වන බවත් අරුණලී දනී. එහෙත් කිමල් වීරවර්ධන හිඳින තැන මේ ඇමතුම ගන්නට නොහැක. අනෙක් අතට මේ ඇමතුම අරගත්තද මෙනුක විසින් කියන්නට යන්නේ කිසිසේත්ම හිත සනසන දෙයක් නොවන බව ස්තිරය.

එක්වරක් නාද වී අවසන් වූ ඇමතුම යලි නාද වන්නට පටන් ගත්තේ අරුණලීගේ සිතුවිලි ඇත්තක් බව ඔප්පු කරමිනි. මෙනුක කිසිසේත්ම මේ ඇමතුම තමා සම්බන්ධ වන තුරුම නොනවත්වයි.

“කෝල් එකක් නේද? ඇයි ආන්ස්වර් කරන්නෙ නැත්තෙ?”

කිමල් ඇසුවේ සැක සහිත බැල්මක් දෙනෙතේ අලවාගෙනය. ඒ බොහෝ ව්ට අරුණලී ගේ පෙම්වතා විය හැක. මුහුණු පොතේ පින්තූර නොතිබුනද අරුණලීට පෙම්වතෙකු හිඳින්නට හැකි ඉඩක් තිබේ. ඇයට ඇමතුමට සම්බන්ධ නොවන්නට වෙන හේතුවක් නැත.

“ගන්..ගන්නෝන සර්”

“ඉතින් ආන්ස්වර් කරන්න” කියා කිමල් බලා ඉද්දීම අසුනින් නැගිට ගිය අරුණලී මදක් එහාට වී ඇමතුමට සම්බන්ධ විය. කොතෙක් අහක බලාගන්න කියා සිතුවද කිමල්ට අරුණලී වෙතින් දෙනෙත් ඉවතට ගන්න හැකියාවක් තිබුනේ නැත.

අරුණලී උන්නේ කණස්සල්ලෙන් ය. කලබලයෙන් ය. 

දුරකතන ඇමතුමකට එපමණක් දේ කරන්නට හැකි ද? 

The post පමා වී පිපුණු මල් 18 appeared first on Saru News Media.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here