ඔබ = සැනසීම – Saru News Media

0
22

එයා දවසක් මගෙන් ඇහුවා, උදේට නැගිට්ටම කැමති ඉර පායනව බලන්නද, ටවුන් එක පැත්ත බලන්නද කියල

ඔයාලා හිතන්නෙ මම මොකක් කියන්න ඇති කියලද?

මම එයාට මෙහෙම කිව්ව

“මට ඕන උදේ පාන්දර නැගිට්ටම ඔයා දිහා බලන්න. ආයෙ අමුතුවෙන් ඉර පායනව බලන්නෙ මොකටද? මගේ අන්ධකාර ජීවිතේට පායපු ඔයා තමයි ඒ ඉර”

තව දවසක් එයා මට කිව්වා, හඳ එළිය ඔයාගෙ ඇඟට වැටුණම හරි හැඩයි කියලා.

ඔයාලා හිතන්නෙ මම මොකක් කියන්න ඇති කියලද?

මම එයාට මෙහෙම කිව්ව.

“ඇයි මගේ ඇඟ උඩට හඳ එළිය වැටුණම හැඩයි කියන්නෙ, මගේ ඇඟ හැඩම ඒ ඇඟ ඔයාගේ දිග අතැඟිලි වලින් ස්පර්ෂ කරාම”

ආදරේදි ඉරයි හඳයි කියන්නෙ නැතුවම බැරි වස්තු දෙකක්. ආදරේ උපමා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයකට ඉරයි හඳයි අපි පාවිච්චි කරලා තියෙනවා.

මමත් එහෙම කරල තියනව. ඔයා ඇත්තටම ඉරක් වගේ මගේ අන්ධකාර ජීවිතේ එළිය කරලා ආදරය කියන සඳ එළියක් වගේ සෞම්‍ය හැඟීම් වලින් මාව සනසන කෙනෙක්.

ගෑණියෙක්ව හැඟීම් වලින් සනසන්න පුළුවන් පිරිමි හරිම අඩුයි. ආදරේ පෙන්නන්න, ආදරේ කියන්න ලැජ්ජ වෙන පිරිමි අතරෙ මම කැමතියි ඔයාගේ ඒ නිර්ව්‍යාජ ගතියට. ඔයාම කියන විදියට “ගොඩේ ගතියට”.

ඔයාගේ හැම වචනයක්ම හරිම ආදරණීයයි. ඔයා හරියට ආදරේ කියනව.ආදරේ පෙන්නනව. මම ආසයි ඒකට. ඒක තමයි මම හොයපු දේ.

“ආදරේ කියන, ආදරේ පෙන්නන මිනිහෙක්. ඒ තමයි සැනසීම.මම හෙව්ව සැනසීම”

ගෑණු හොයන්නෙ සැනසෙන්න ඇහැක් පිරිමියෙක්. සැනසීම ලබාදෙන පිරිමියෙක්. සමහරු හිතනව කෙල්ලො හොයන්නෙ “සල්ලි තියන, සික්ස් පැක්ස් තියන, හෙන උස, පට්ට කඩවසම්” එකෙක් කියල.

එහෙම requirements තියෙන කෙල්ලො ඇති. හැබැයි මේ ලියන කෙනා ඊට හාත්පසින්ම වෙනස්.

ප්ලීස් බොරු ලොකු සීන්, පොශ් සීන් එපා. ඔය ගොඩේ නම් ඒ වගේ ඉන්න.මම ඒකට ආසයි. ඔයා සරල නම් ඒ වගේ ඉන්න මම ඒකට ආසයි.

ඔයා සල්ලි කාරයෙක් නම්, මං වෙනුවෙන් වියදම් කරන්න එපා.
 එක තප්පරේකට මට ආදරේ කියන්න ඒ ඇති.මන් එක්ක ඉන්න හැම මොහොතෙම මාව සතුටෙන් තියන්න. මාව සනසන්න. ඊට එහා වෙන කිසිම දෙයක් මට එපා.

ඒ තමයි අපි ආදරේ නොදැක්ක පැත්ත. ඇත්ත ජීවත් වෙන්න සල්ලි ඕන. ඒත් කොයිතරම් සල්ලි තිබුණත්, ඒ ජීවිතේ සතුටක් සැනසීමක් නැත්තම්, කෝටි ගාණක් හම්බ කරත්, එක අරික්කාලක සතුටක් සැනසීමක් නැත්තම් ඒ ජීවිතේ ඵලක් නෑ.

මොන දේ කරත් කිව්වත්, ඒ හැම දෙයක් අවසානයේම තියෙන්න ඕන සැනසීමක්, ආත්ම තෘප්තියක්.

ගෑණු හොයන්නෙ සල්ලි තියන පිරිමි කියල හිතනවනම් කෙනෙක් මම කැමති මෙහෙම කියන්න,

ජීවත් වෙන්න සල්ලි ඕන ඇත්ත. හැබැයි ආදරේ කරන කෙනා වෙනුවෙන් දවසට එක පැය භාගයක් හරි වෙන් කරන්න. කෝල් එකක් දෙන්න. පුංචි මැසේජ් එකක් දාල ආදරෙයි කියන්න.

ආදරේ හිතේ හංගන් ඉන්න තරමට ඈත් වීම වැඩි. ආදරේ පෙන්නන තරමට, ආදරෙ කියන තරමට කොයිතරම් ලං වෙන්න පුලුවන්ද?

එතන තියනව නිදහසක්. ඕනෙම දෙයක් කියන්න පුළුවන් නිදහසක්.

සමහරු ආදරේ ඇතුළෙ කොයිතරම් සීමා දානවද?

“ඔයා බොන්න එපා, මම ආස නෑ”
“අරක අඳින්න එපා. ඔයා කුර්තා අඳිනවට මම කැමති නෑ”
“ඔයා අරක කරනවට මම ආස නෑ. මේක කරනවට ආස නෑ”

සමහර දේවල් තියනව කතා බහ කරල වෙනස් කරගන්න ඕන. එකට ඉද්දි කරන්න බැරි සහ කරන්න අමාරු. හැබැයි ඒ වෙනස් කිරීම් කරන්න පහසුයි, ඒක කියන හෘදයාංගම විදිය එක්ක.

නපුරු විදියට, ලොකු සීන් දාලා කියනවට වඩා අනේ මන්ද මම නම් කියන දේ අහනව කවුරුහරි දෙයක් ආදරෙන් කිව්වොත්.

ආදර සම්බන්ධයක් ඇතුලෙ අපි සම්පූර්ණයෙන්ම හොයන්නෙ ආදරේ. එහෙම නෙවිද?

අපි කවුරුවත් කැමති නෑ බැඳීමක් අස්සෙ හිරවෙන්නෙ. කවුද කැමති තමන්ගෙ නිදහස සීමා කරනවට. ඒ නිදහස සීමා කිරීම අස්සෙ තියනව වැරදි විදියට නිදහස හොයන් යන්න කරන හැංගිච්ච පෙළඹවීමක්.

ඒ පෙළඹවීම සමහරවිට තමන් ආදරේ කරන කෙනා තමන්ට අහිමිවෙන තැන වෙනකම්, සදාකාලික වේදනාවක් වෙනකම් දුර දිග යන්න පුළුවන්.

ඉතින් ආදරෙන් යන්න ඇහැකි ගමන, ඇයි වේදනාවකින් කෙළවර කරගන්නෙ.

අපි අපේ ආදරේට කියමු මෙහෙම,

“මගේ ආදරේ ළඟ ඔයා නිදහස්. මගේ ආදරේට අත්තටු තියනව. ඔයා පරිස්සමෙන් පියාඹලා ආයෙ එන්න. මම බලාගෙන ඉන්නවා”

රෑ අහස සරසන්න තරු මොනතරම් තිබුණක් හඳෙන් ලැබෙන ලස්සන සැනසීම ඒ තරු දහස ගාණකින් ගන්න බෑ.

මට ඔයත් ඒ වගේ. මේ ජීවිතේ මොනව තිබුණත් ඔයා නැත්තම් සැනසීමක් නෑ.

හැම මොහොතෙම මට ඔයා නිසා සැනසෙන්න පුළුවන්.
ඔයා ළඟ නැතත් මට ඔයා ගැන හිතල සැනසෙන්න පුළුවන්.

මගේ සැනසීම කියන නහර වැල් ඇතුළෙ දුවන ආදරය කියන උණුසුම් හැඟීම හැමදාමත් ඔයා.

ඔයා එක්ක ගෙවන හැම තප්පරයක්ම ආදරේට, ජීවිතේට අළුත් පාඩමක්. ඒ හැම මොහොතක්ම හරිම සරලයි.හැබැයි සැනසීමයි.

ඉතින් මට ජීවිතෙන්, දෛවයෙන් ඉල්ලන්න තියෙන්නෙ තව එකම එක දෙයක් විතරයි.

ඒ,

ඔයාව මගෙන් ඈත් කරන්න එපා කියන ඉල්ලීම. මට වෙන කිසිම දෙයක් එපා. ඔයා විතරක් හොඳටම ඇති.

මම ආදරෙයි.
නොසෑහෙන්න.

“රෑ අහසේ තරු දිලුනට
නෑ එළියක් සඳ වාගේ
ජීවිතයට මොනවා තිබුනද
නෑ කිසිවක් නුඹ වාගේ

සැනසෙන්නම් මා
නුඹ ළඟ නම් හැම මොහොතෙම
හඳුනාගන්නට ජීවිතයම
සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ ඉපිලෙයි සිත”

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here