කුරුඳු නොතිබුණා නම් දඹදෙණිය, කෝට්ටේ රාජධානි බිහිවන්නේ නෑ..

0
20

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති උත්සවයට එක්වෙමිනි.

“සිලෝන් ටී” නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නාමය සිය සමාගම හරහා සිදු කරනු ලබන දේශීය අපනයන තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට ද ප්‍රවිශ්ට වෙමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කුරුඳු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොලට ඩිල්මා සන්නාමය යටතේ හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී තෝමස් ගුග්ලර් මහතා විසින් සංකේතාත්මකව ඩිල්මා කුරුඳු නිෂ්පාදන එළි දැක්වීම සිදු කරන ලදී.

ඩිල්මා සමාගම “සිලෝන් ටී” නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම “සිලෝන් සිනමන්” නාමය ඉදිරියට ගෙන ඒම පිළිබඳ මෙහිදී සිය ස්තූතිය පිළිගැන්වූ ජනාධිපතිවරයා මෙය රටේ ආර්ථිකයේ නව පරිච්ඡේදයක ඇරඹුම වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය,

කුරුඳු වගාව එදා අපේ රටේ ප්‍රධාන බෝගයක්ව පැවතුණා. පොළොන්නරුව රාජධානිය බිඳවැටීමෙන් පසු අපගේ රාජධානි නිරිතදිග තෙත් කලාපයට සංක්‍රමණය වන විට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ කුරුඳු කර්මාන්තයයි. අපට කුරුඳු නොතිබුණා නම් දඹදෙණිය, යාපහුව, ගම්පොළ, රයිගම හෝ කෝට්ටේ යන රාජධානි කිසිවක් බිහිවන්නේ නැහැ. කුරුඳු අපේ රටේ ඉතිහාසය සමඟ බැඳී තිබෙන්නේ මේ ආකාරයටයි.

එදා යාපනය පාලනය කළ පාලකයා මේ අතරින් ඉතා වාසනාවන්ත වුණා. ඔහු සතුව අලි ඇතුන් සහ මුතු තිබුණා. නමුත් කුරුඳු කර්මාන්තයෙන් කොටසක් ද තමා සතුව පැවතිය යුතු බව ඔහු සිතුවා. ඒ අනුව ඔහු පුත්තලම අල්ලා ගෙන එහි සිටි පාලකයන්ගෙන් කප්පම් ලබාගත්තා. නමුත් එය ප්‍රමාණවත් නොවන බව සිතු ඔහු වෙළඳාම පාලනය කළ යුතු බවට තීරණය කළා. ඒ අනුව ඔහු එහි සිට රයිගම සහ කෝට්ටේ රාජධානි අල්ලා ගත්තා.

ඔහුට තවදුරටත් මේ ආකාරයට කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බව වෙළදාම පාලනය කළ කේරළ වෙළෙන්දන් සිතුවා. ඒ නිසා ඔවුන් බලකොටුවක් ඉදිකර ආර්ය චක්‍රවර්තී පරාජය කිරීම සඳහා ඔවුන් අතුරින් ප්‍රමුඛයා වූ අලකේශ්වර මෙහි එව්වා. ඉතින් මේ අපේ ඉතිහාසයේ තවත් කොටසක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here