ගූග්ල් මැප්ස් වලින් අපි උපරිම වැඩ ගන්නවද? ගූග්ල් මැප්ස් ගැන නොදැන හිටි වැඩ කිඩ මෙන්න – Saru News Media

0
8

ඉස්සර ඉතින් අපි කැලේක එහෙම කෑම්පින් ගියත්, බයික් එකේ නැගලා නොදන්න පළාතක රයිඩ් එකක් ගියත්, හදිසියකට නොදන්න තැනකට ගියත් ඉතින් අර වර්ග අඟලකට කිලෝමීටර් පහයි ස්කේල් එකේ මැප් එකක් දිගෑරගෙන, මාලිමාවකුත් අතේ තියාගෙන ඔන්න ඉන්න තැනයි, යන්න ඕන තැනයි හොයනවා. එහෙම ඉතින් තාර බර දාලා කිව්වට මොකෝ, ඇත්තටම අනූ ගණන් වල අපිට ඔය ජීපීඑස් වගේ තාක්සන තිබ්බෙ නෑ නොවැ. ඒකට දැන්. ආයෙ උසම කන්ද මුදුනේ කෑම්ප් ගහන්න ගියත් ස්මාට්ෆෝන් එක ඇදලා අරගෙන, ජීපීඑස් ඔන් කරලා ගූග්ල් මැප් එකෙන් තමයි පාර අහගන්නේ. ආයෙ ගූග්ල් මැප් එකත් ටක්කෙටම අඩි කීපයක් එහා මෙහා වෙන්න අපි ඉන්න තැන පෙන්නනවනේ. කොහොමත් නගරබදව කොහේ හරි නොදන්න ඉසව්වකට යනකොට ආයෙ කඩපිලක නවත්තලා පාර අහං යන්න ඕනැන්නෙ නෑ. කෙලින්ම ගූග්ල් මැප්ස් දෙයියන්ගෙන් ඇහුවහම යන්න ලේසිම පාරයි, යන්න ගතවෙන වෙලාවයි අනං මනං සේරෝම හූනා කිව්ව වගේ කියනවා.

හැබැයි ඉතින් ඇත්තටම බැලුවොත් හැම ස්මාට්ෆෝන් එකකම ගූග්ල් මැප්ස් තිබ්බත්, හදිසියකට යන්න ඕන තැනක් හොයාගන්න ගූග්ල් මැප්ස් ඔන් කරගත්තත්, ඇත්තටම ගූග්ල් මැප්ස් වල තියෙන පහසුකම් සහ විශේෂාංග හැම එකක්ම සියේට සීයක්ම හැමෝම දන්නවය කියලා හිතන්න අමාරුයි. අන්න එහෙම නොදන්න අය වෙනුවෙන් තමයි අපි ඒ හැංගිලා තියෙන පහසුකම් ගැන කියලා දෙන්න හදන්නේ.

 

සාමාන්‍යයෙන් ඔෆිස් එකේ ඉඳලා ගූග්ල් මැප්ස් වල ගෙදර යන්න වෙලාව බැලුවොත් කෙලින්ම පෙන්නන්නේ වේගවත්ම සහ ඉක්මන්ම රූට් එක. හැබැයි අපිට ඒ කියන විදියට යන්න බෑ. පෑලියගොඩට ගිහිල්ලා මාලුත් අරගෙන, වත්තලට ගිහින් කෙල්ලවත් බලලා, කඩවත පොළෙන් එළෝලුත් අරගෙන තමයි ගෙදර යන්න ඕන. දැන් ඔය තැන් ඔක්කොටම ගිහින් යන්න ගතවෙන වෙලාව කොහොමද හොයන්නේ? සරලයි. ගූග්ල් මැප්ස් වල යන්න ඕන තැන දුන්නට පස්සේ යන තැනයි ඉන්න තැනයි පෙන්නනවනේ. අන්න එතනදී උඩ දකුණේ කෙළවරේ තියෙන තිත් තුන ක්ලික් කරලා ඒකේ තියෙන Add Stop කියන එක ක්ලික් කළහම අන්න තමන්ට ගමනාන්තෙට කලින් යන්න ඕන තැන දාන්න පුළුවන් විදියට මැදට බොක්ස් එකක් එනවා. දැන් ඔය විදියට Add Stop ඒවා ඕනෑ තරමක් දාගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ රූට් එක සහ වෙලාව පෙන්නන්නේ ඔය ගහන රෝන්දේ ඔක්කොම ඇතුළත් කරලා තමයි!

 

සාමාන්‍යයෙන් ලංකාවේ නගරබද සහ තදාසන්න ප්‍රදේශ බොහෝමයකට ගූග්ල් මැප්ස් එල කිරි වගේ වැඩ කළත්, හැම පැත්තකටම එහෙම නෑ. සමහර වෙලාවට සමහර පළාත් වල ජී පී එස් තියා ඩේටා කනෙක්ෂන් වත් නෑනේ. ආන්න ඒ වගේ පැත්තක යනකොට අමාරුවේ නොවැටෙන්න හොඳම ක්‍රමේ තමයි Offline Maps කියන ජාතිය. වැඩේ සරලයි. කරන්න තියෙන්නේ ඇප් එක අරගෙන, ඒකේ මේන් මෙනු එකේ තියෙන Offline Maps කියන ඔප්ෂන් එකට ගිහිල්ලා, තමන්ට ඕන කරන රූට් එක හරි සිතියම හරි පෙන්නලා ඒකේ ඕෆ්ලයින් මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. දැන් ඒක තියෙනවා ෆෝන් එකේ. කොහේ හරි වයි-ෆයි එකකට කනෙක්ට් වෙච්ච ගමන් ඕක ඔටෝ අප්ඩේටුත් වෙනවා. ඔය හැමදේකටම වඩා ෆෝන් සිග්නල් පවා නැති ප්‍රදේශයක වුනත් මේ Offline Maps පහසුකම ඔස්සේ පාර හොයාගන්න පුළුවන්!

 

සාමාන්‍යයෙන් ගූග්ල් මැප් එකේ තැන් දෙකක් අතර දුර හොයාගන්න කරන්න වෙන්නේ තමන්ට ඕන පටන් ගන්න තැනත්, අවසාන වෙන තැනත් දීලා රූට් එක පෙන්නුවට පස්සේ ඒකෙන් දුර හොයාගන්න එකනේ. ඕක ටිකක් කරදරකාරී වැඩක්. හැබැයි අපිට බොහෝම පහසුවෙන් මැප් එකේ තැන් අතර දුර හොයාගන්න පුළුවන්. මේ ක්‍රමය වැදගත් වෙන්නේ අපිට එක කෙලින් තැන් දෙකක් අතර නැතුව අපිට ඕන රූට් එක ඇඳලා ඒකේ දුර හොයනවා නම්.

යන්න මෙනු එකට. ඒකේ තියෙන Google Earth එකට යන්න. දැන් එන ස්ක්‍රීන් එකේ ඕන තැනක් ක්ලික් කළහම ඩ්‍රොප් පින් එකක් වැටෙනවා. දැන් පහළ තියෙන Measure කියන එක ඔබලා එන ලොකේෂන් පින් එක කැමති කැමති තැනට අරගෙන යන්න තියෙන්නේ. දුර වැටෙනවා.

 

සාමාන්‍යයෙන් අපිට කොහේ හරි නොදන්න පැත්තක අපේ අහළ පහළ තියෙන කැෆේ එකක්, රෙස්ටුරන්ට් එකක්, සුපර් මාකට් එකක්, ෂෙඩ් එකක්, ඒටීඑම් එකක් හොයාගන්න නම් අපි හොයන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕන. උදාහරණයක් විදියට කිව්වොත්, අනුරාධපුරේ ගිහින් ගූග්ල් මැප් එකේ ෆුඩ් සිටි කියලා සර්ච් කළහම අහළ ගම් දනවු හතක තියෙන ෆුඩ් සිටි ටික විතරක් නෙවෙයි, එව්වා වහන වෙලාවත් අරින වෙලාවත් මැප් එකේ වැටෙනවා. හැබැයි නොදන්නා තැනක් හොයාගන්න නම් කරන්න ඕන මෙච්චරයි. මැප් එකේ යටින් තියෙන Explore කියන බාර් එක උඩට ගේන්න. අන්න ඒකේ රෙස්ටුරන්ට්, කොෆී, ඇට්‍රෑක්ෂන්ස්, පාර්ක්ස්, ජිම්, ආර් ගැලරි, ක්ලබ්, ඇඳුම් කඩ  වගේ මෙකී නොකී හැමදෙයක්ම පෙන්නනවා. එතනින් ඕන තැනක් තෝරලා විස්තර බලාගන්න පුළුවන්.

 

දැන් අපි කියමු මැප් එකේ පෙන්නන කොහේ හරි තැනකට අපි ගියා කියලා. දැන් ඔය තැන අපිට සේව් කරලා තියාගන්න ඕන. සමහර වෙලාවට වෙන කෙනෙක් ගියපු තැනක් අපිත් එක්ක ෂෙයාර් කරපු වෙලාවක වුනත් ඔය සේව් කරගන්න වුවමනාව එනවනේ. ආන්න එතකොට කරන්න තියෙනේ හරි සරල වැඩක්. ඒ අදාළ තැන ක්ලික් කළාට පස්සේ එතන ටෙලිෆෝන් නම්බර්ස් අනං මනං විස්තර තොගයක් එනවනේ. ඔය ඔක්කොම අතරේ තියෙනවා Save කියලා බට්න් එකක්. අන්න ඒක එබුවහම එනවා සේව් කරන්න ඕන කාණ්ඩය තෝරාගන්න තැනක්. ඕකට අපිට විවිධ කාණ්ඩ හදලා තියාගන්න පුළුවන්. කන්න යන තැන්, බොන්න යන තැන්, රහසිගත තැන් වගේ ඕනම නමක් දාලා කාණ්ඩ හදාගන්න තියෙන්නේ. දැන් ඒ අදාළ තැන සේව් කරන්නයි තියෙන්නේ.

 

සාමාන්‍යයෙන් ගූග්ල් මැප්ස් වල යන්න ඕන තැන දුන්නට පස්සේ අපි ඉන්න තැන ඉඳලා ගණන් හදලා පෙන්නන්නේ වාහනේක යනකොට ගතවෙන කාලය සහ දුර ප්‍රමාණයනේ. හැබැයි මැප් එකේ උඩ තියෙනවා පොඩි අයිකන් ටිකක්. ඒකේ කාර් එකෙන් පෙන්නන්නේ සාමාන්‍ය වාහනේක යනකොට ගතවෙන වෙලාව. බයික් එකෙන් පෙන්නන්නේ බයික් එකෙන් යනකොට ගතවෙන කාලය. සාමාන්‍යයෙන් ඒ කාලය වාහනේක යනකොට ගතවෙන කාලයට වඩා අඩුයි. ඉන් පස්සේ තියෙනවා පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යනකොට ගතවෙන කාලය. ඉන් පස්සේ පයින් යන්න ගතවෙන කාලය. ආන්න ඒකටත් එහායින් තියෙනවා ටැක්සියක යනවා නම් ගෙවන්න වෙන ගණන්! මේ අය පාවිච්චි කරන ටැක්සි සේවය තමයි ඌබර්. දැන් තමන්ට ඕකේ ගාණ ක්ලික් කළහම කෙලින්ම යන්නේ ඌබර් ඇප් එකට. එතන ඉඳලා ටැක්සියක් දාගන්න පුලුවන්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here