ගෙදරට ඕන බඩු ෂොපිං කරන​කොට සැළකිලිමත් වෙන්න ඕන කාරණා – Saru News Media

0
12

මේ බඩු මිල අහස උසට නැගපු කාලයක්. ආදායම් කවදාවත් නැති තරමට අඩුවුණ කාලයක්. කාට කාටත් අමාරු කාලයක්. හැබැයි ඉතින් එහෙමයි කියල ගෙදර දොරේ අවශ්‍යතාවයන් සපුරා ගන්නෙ නැතුවත් බැහැනෙ. ගෙදර ඉන්න ජනතාවගේ බඩවල් පුරවන්න ඕන. අනෙකුත් සනීපාරක්ෂක අවශ්‍යතා සපුරන්න ඕන. ඉතින් මාස්පතා ගෙදරට අවශ්‍ය බඩු ලැයිස්තුව ඉබේම හැදෙනවා ඔය දේවල් එක්ක.

දැන් අපි හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නෙ සුපිරි වෙළඳසැල් වලින් බඩු මිලදී ගන්න. ඒ ප්‍රධානවම තෝරාගැනීමේ සහ මිල සංසන්දනය කිරීමේ පහසුව නිසා. අනික සුපිරි වෙළඳසැල් දැන් ඉස්සර වගේ සුපිරි නැහැ. ඇත්තටම ඒවායේ බඩුවල ප්‍රමිතිය එක්ක බැලුවම මිල ගණන් බොහොම සාධාරණයි. ඒ වගේම දැන් පොඩි පොඩි වෙළඳසැල් පවා සුපිරි වෙළඳසැල් සංකල්පයට ඉදිවෙන නිසා ඔවුන්ට ඇති තරඟය ඉහළයි. ඒ නිසා වැඩි මිලට බඩු විකුණන්න බැහැ. කොහොම වුණත් මේ කියන්න යන්නෙ සුපිරි වෙළඳසැල් වල හොඳ නරක ගැනනම් නෙමෙයි. කොයි විදිහකට හරි මාසෙට අවශ්‍ය බඩු මිලදී ගන්නකොට කාලය සහ මුදල් ඉතුරු කරගෙන හොඳ භාණ්ඩ මිලදී ගන්න උදව්වෙන ටිප්ස් කිහිපයක් ගැනයි.

 

ගෙදරට අවශ්‍ය බඩු ගන්න කලින් ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ තමයි හරි ලැයිස්තුවක් හදාගන්න ඒක. ලැයිස්තුවක් නැතුව හිතුමතේ ෂොපින් කරන එකෙන් වෙන්නෙ අපි දැක්ක පළියට අනවශ්‍ය දේවල් මිලදී අරගෙන අවශ්‍ය දේවල් අමතක කරල නිරපරාදේ මුදල් නාස්ති කරගන්න එක. ඒ නිසා ඉස්සෙල්ලාම පෑනක්, කොළයක් අරගෙන ගෙදරට අවශ්‍ය බඩු ලැයිස්තුවක් ලියාගන්න. දැන් මේ වැඩේටම හදපු ඔන්ලයින් ඇප් එකක් වුණත් ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පහසු විදිහක් තෝරගන්න. ඊළඟට කලින් මිලදී ගත්ත බඩු බිලක් හරි එහෙමත් නැත්තම් සුපිරි වෙළඳසැලක ඔන්ලයින් පොර්ටල් එකක් හරි ලං කරගෙන බඩු වල මිල ගණන් පරීක්ෂා කරල බලල අනවශ්‍ය දේවල් කපාහරින්න. අපිට අවශ්‍යයි කියල හිතල ලිස්ට් එකට දාන සමහර අත්‍යාවශ්‍ය නොවෙන දේවල් මිල ගණන් දැක්කම ලැයිස්තුවෙන් අයින් කරන්න හිතෙනවා. මේ ලැයිස්තුව හැම මාසෙම මිලදී ගන්න මූලික ලැයිස්තුව විදිහට අරන් තියාගන්න පුළුවන්.

 

ඔන්න කලින් සකස් කරගත්ත ලැයිස්තුවත් අරගෙන මාසයේ බඩු ගන්න එළියට බහින්න කලින් නොවරදවාම කරන්න ඕන දෙයක් මේක. ඇත්තටම මාසයක් යනකන් නොඉඳ සතියකට හෝ සති දෙකකට වතාවක් මේ වැඩේ කරන්න පුළුවන්නම් වඩාත්ම හොඳයි. එතකොට සමහර කෑම වර්ග කල් ඉකුත්වෙලා ඉවත් කරන්න, අමතක වෙලා විසි කරන්න වෙන්නෙ නැහැ.

ස්ටොක් කවුන්ට් කරනව කියන්නෙ මහා පරිමාණ ව්‍යාපාරවල වගේ ලොකු රාජකාරියක් නෙමෙයි. ගෙදර ෆ්‍රිජ් එකෙන් පටන් ගන්න. ඉදිරියට භාවිතයට ගන්න පුළුවන් එළවලු, පළතුරු, චීස්, බටර්, කිරි වගේ දේවල් කොච්චර ඉතුරුද, ඒ ප්‍රමාණ කොයිතරම් කාලයකට ඇතිද කියල සටහන් කරගන්න. මතකය හොඳනම් මතක තියාගන්න. ඊළඟට ඒ විදිහටම අනික් බඩු, ඒ කියන්නෙ කිරිපිටි, නූඩ්ල්ස්, පාන්පිටි, සෝයාමීට් වගේ වියළි ආහාර ද්‍රව්‍ය ඔක්කොමත් ඉතුරු ප්‍රමාණ සටහන් කරගන්න.

ඊළඟට කලින් සකස් කරපු ලැයිස්තුව අතට අරගෙන ඒකෙන් මේ ඉතුරු ද්‍රව්‍ය කපාහරින්න. මාසෙන් බාගෙකට ඇතිවෙන්න තියෙන දේවල්නම් බාගයක් විතරක් මිලදී ගන්න සටහන් කරගන්න. හදපු ලිස්ට් එකට වෙන්කරපු මුදලෙන් ලොකු ගාණක් ඉතුරු වෙනවා ඔබට පෙනෙයි මේ පළවෙනි පියවරෙන්ම.

 

ඊළඟට ලැයිස්තුවයි, කම්පියුටර් එක හෝ ෆෝන් එකයි ලංකරගෙන ෆේස්බුක් එක සහ ඔය ඔන්ලයින් ෂොප් කිහිපයක කරක් ගහන්න. පැස්ටා, තෙල් වර්ග, නට්ස් වර්ග, ටූනා, චීස් වර්ග වගේ රටින් ගෙන්වන දේවල් වලට සෑහෙන්න හොඳ ඔෆර්ස් මේවගෙන් හොයාගන්න පුළුවන්. බෙදාහැරීමේ ගාස්තු සාධාරණ නම් ඒ දේවල් ඔන්ලයින් මිලදී ගන්න. හැබැයි මතක ඇතුව මිලදී ගන්න කලින් ඒ විකුණුම්කරු ගැන තියෙන රිවීව්ස් කියවලම ඉන්න. ගුණාත්මක බඩු, සාධාරණ මිලකට අරගෙන ලැයිස්තුවෙන් පොකට් එකට දැනෙන බර අඩුකරගන්න මේකත් හොඳ ක්‍රමයක්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here