ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් | Saru News Media

0
10

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අපොස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතයි.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

දිවයින පුරා පිහිටි පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන 822 ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ යටතේ එක් පිරිවෙනකට/ සීලමාතා අධ්‍යාපන ආයතනයකට පිරිනැමෙන උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 06ක්.

ඒ අනුව පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති විසින් තම පිරිවෙනට/ සීලමාතා අධ්‍යාපන ආයතනයට අදාළ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතුයි.

කාණ්ඩ දෙකක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන අතර මේ යටතේ ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් 5000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරෙනවා.

පළමු කාණ්ඩය යටතේ මසකට රුපියල් 3000/- බැගින් 2024 මැයි මස සිට මාස 12ක් සඳහා ද, දෙවන කාණ්ඩය යටතේ මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් සඳහා ද ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්‍රය ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ www.facebook.com/president.fund නිල Face Book පිටුවෙන් ලබාගත හැකියි.

එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ද කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන ගිහි පැවිදි ශිෂ්‍යත්ව අයදුම්කරුවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද තම අයදුම්පත්‍රය 2024 මැයි 22 දිනට පෙර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති වෙත පමණක් භාරදිය යුතු අතර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපතිවරුන් විසින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛන ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමට හැකිවන පරිදි කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ වෙත එවනු ඇති.

මේ අතර අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අපොස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලබන, දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව විසින් ලබා දෙනු ලබන අරමුදල් මඟින් ජනාධිපති අරමුදලේ මෙහෙයුම් සහයෝගය මත ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනද දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ යටතේ කලාපයකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 50ක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 මැයි මස සිට අපොස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මාස 24ක උපරිම කාල සීමාවකට යටත්ව මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කරනු ලබනවා.

මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලුම විස්තර ජනාධිපති අරමුදලේ www.facebook.com/president.fund යන නිල Face Book ගිණුමෙහි හා www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here