තරුණයකු පැහැර ගන්න ඩිෆෙන්ඩරය ගෙනිච්චේ මා නොදැනුවත්වයි..- හිරුණිකා

0
14

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ 2015 වසරේදී දෙමටගොඩ වෙළෙඳ සලක සේවය කළ අමිල ප්‍රියංග අමරසිංහ නමැති අය පැහැරගැනීම සඳහා සිය පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් තමන්ට අයත් ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇත්තේ තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව වන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේදී විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පැවැසුවාය.

සිය පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් ඔවුන් කළ එම වැරදි සම්බන්ධයෙන් වරද පිළිගෙන අධිකරණය නියම කළ දඬුවම්වලට මේ වනවිටත් යටත්වී ඇති බැවින් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනාවලින් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙසට ද විත්තිකාරිය කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතාගෙන් ඉල්ලා සිටියාය.

2015.12.21 වැනිදා තරුණයකු පැහැරගෙන යෑම සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයෙන් එම ඉල්ලීම කළාය.

එම නඩුවේ විත්තියේ සාක්‍ෂි විභාගය ලබන මස 19 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට විත්තිකාරියට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
– Divaina

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here