තහනම් නගරය – චීනයේ විස්මයජනක මාළිගාව – Saru News Media

0
8

අපි මීට සති කිහිපයකට කලින් යුරෝපා රටවල සහ ඉන්දියාවේ රජ මාළිගා පිළිබඳ තොරතුරු රැසක් ඔබ වෙත ගෙන ආවා. නමුත් අපේ රටේ අය වගේම ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පවා එතරම් නොදන්න සුවිශේෂී මාළිගාවක් චීනයෙහි පිහිටා තිබෙනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ මාළිගාව පිළිබඳවයි.

 

බීජිං නගරයේ පිහිටා තිබෙන මෙම මාලිගා සංකීර්ණය හැඳින්වෙන්නේ තහනම් නගරය ලෙසයි. අතීත චීන අධිරාජ්‍යවරුන්ගේ සමයේදී සාමාන්‍ය ජනතාවට මෙම මාළිගය විවෘත නොවුණු නිසා තහනම් නගරය ලෙස හැඳින්වුණු බව කියවෙනවා. ප්‍රංශයේ ලූවර් මාළිගාව මෙන් තුන් ගුණයක් විශාල වන තහනම් නගරය වර්ග අඩි හැත්තෑ හත් ලක්ෂ පනස් දාහක බිම් ප්‍රමාණයක් පුරා  විහිදී යනවා. කම්කරුවන් ලක්ෂ දහයක් පමණ මෙම මාළිගය නිර්මාණය කිරීම සඳහා දායක වූ බව කියවෙනවා. ගොඩනැගිලි නමසිය අසූවක් සහ කාමර අට දහස් හත්සීයක් පමණ මෙම මාළිගා සංකීර්ණය තුළ පිහිටා තිබෙනවා.

 

ලෝකයේ දැනට ඉතාම හොඳින්ම සංරක්ෂණය වී ඇති මධ්‍යතන යුගයේ ලීයෙන් කළ ගොඩනැගිලි සංකීර්ණය අයත් වන්නේ තහනම් නගරයටයි. අදටත් එහි ඇති සෑම ගොඩනැඟිල්ලකම සුළු වෙනස්කමක් පවා සිදු කොට නැත්තේ චීන ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨත්වය නිරූපණය වන පරිදියි. මෙම මාළිගයට ඇතුළු වන්නට ස්වර්ණාලේපිත දොරටු නමයක් නිම කොට තිබෙනවා. චීන විශ්වාසවලට අනුව අංක නමය මගින් විශිෂ්ටත්වය නිරූපණය වනවා.

 

ප්‍රධාන මාළිගා පරිශ්‍රය ඉදිරිපස එළිමහන තුළ පිටත රාජසභා මණ්ඩපය පිහිටා තිබෙනවා. උත්සව අවස්ථාවලදී සාමාන්‍ය ජනතාවට අධිරාජ්‍යයා දැකගැනීමේ අවස්ථාව ලැබුණේ මෙම පිටත රාජසභා මණ්ඩපය තුළ දී පමණයි. පුදුමයකට මෙන් මෙම එළිමහන් කොටස තුළ  කිසිදු ගසක් ඉතුරු කර නැහැ. නමුත් ඇතුළත රාජ සභා මණ්ඩපය තුළ අලංකාර ගෙවතු දකින්නට ලැබෙනවා. මීට හේතුව ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ගසක් ආධාරයට ගනිමින් අධිරාජ්‍යයා වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින නිසා, පිටත රාජසභා මණ්ඩපය ගස්වැල් වලින් තොර කලාපයක් කර ඇති බවයි.

 

වසර දස දහස් ගණනක් පුරා චීන රාජකීයයන් විසින් පරිහරණය කරන ලද විවිධ වර්ගයේ භාණ්ඩ රාශියක් තහනම් නගරයේ කෞතුකාගාරය තුළ දකින්නට ලැබෙනවා. ලෝකයේ වැඩිම ඓතිහාසික චීන කලා කෘති ප්‍රමාණයක් එකම තැන දකින්නට ලැබෙන්නේ මෙම කෞතුකාගාරය තුළයි. නමුත් මෙම කෞතුකාගාරයට හිමිවිය යුතු ඇතැම් කලා කෘති විශාල ප්‍රමාණයක් බටහිර රටවල කෞතුකාගාර වල සහ  තායිවානයේ කෞතුකාගාරවල දකින්නට ලැබෙනවා. බීජිං නගරය ආක්‍රමණය කළ විදේශිකයන් විසින් තහනම් නගරය කොල්ල කෑමේදී එම කලා කෘති තම රටවලට ගෙන ගොස් ඇති අතර, ජපන් ආක්‍රමණය සිදුවන අවස්ථාවේදී චීන රජය විසින්ම තවත් කලා කෘති ගණනාවක් ආරක්ෂාව සඳහා තායිවානය වෙත ගෙන ගොස් තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here