හරිම ප්‍රවෘත්ති දැනගන්න නම් හරි විදියට ප්‍රවෘත්ති බලන්න. ඒ මෙහෙමයි! – Saru News Media

0
5

ඇත්තටම ලෝකේ හරිම ප්‍රවෘත්ති කියලා දෙයක් තියෙනවද? අන්න ඒක තමයි අපි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ. හරි, ඇත්ත ප්‍රවෘත්ති කියලා කියන දේ සාපේක්ෂ වුණත්, අපි පුළුවන් තරම් නිවැරදි, හරිම ප්‍රවෘත්ති හොයාගන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕන. ඇත්තටම ඒක ලේසිත් නෑ මේ කාලේ. හේතු කීපයක් නිසා. එකක් තමයි දැන් කාලේ ඔය සෝෂල් මීඩියා, වට්ස්ඇප් වගේ ජාල හරහා විතරක් නෙවෙයි, ජනමාධ්‍ය හරහාත් සෑහෙන්න බොරු නිව්ස්, ෆේක් නිව්ස් පැතිරෙනවා. ඒ වගේම ඔය ගොඩක් මාධ්‍ය මුදලාලිලා විසින්, එක එක තැන්වලට ගැති මාධ්‍යවේදියෝ විසින් නොමග යවන සුළු විදියට පුවත් ඉදිරිපත් කිරීම, එක පැත්තකින් විතරක් පුවත් ඉදිරිපත් කිරීම වගේ දේවල් සරුසාරෙට කරගෙන යනවා. ආන්න එතකොට දේවභාෂිතය වගේ එහෙම ප්‍රවෘත්ති විස්වාස කරන උන්දැලා තීන්දු තීරණ ගන්නෙත් අන්න ඒ වගේ පච නිව්ස් මත පදනම් වෙලා තමයි. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවනේ දේශපාලකයෝ කියන පච ඇත්තම ඇත්ත වගේ රිපෝට් කරන ප්‍රවෘත්ති හරි පත්තර හරි, එතකොට තමන් කැමති පක්ෂය උස්සලා තියෙන බොරු වගේම තමන් අකමැති පක්ෂය පහතටම දාන බොරු එහෙමත් ලියන කියන මීඩියාකාරයෝ එහෙමත්.

ඔන්න ඔය කාරණාව හින්දා තමයි වර්තමානයේ ජීවත් වෙන අපි ඕනම කෙනෙක්ට නිවැරදිම ප්‍රවෘත්ති මොනවද කියලා හොයාගන්න හොඳ හැකියාවක් තිබිය යුත්තේ. ආන්න ඒ හැකියාව වර්ධනය කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ කියලා දෙන්න හදන්නේ. අපි Saru News Media එකෙන් මීට කලිනුත් කිව්වා කොහොමද ව්‍යාජ ප්‍රවෘත්ති හඳුනගන්නේ කියන එක ගැන. අන්න ඒකත් කියවලාම ආවනම් තවත් වැඩේ ලේසියි.

 

අපි පහුගිය දවස් වල දැක්කා එක එක නාලිකා කොවිඩ්19 සඳහා හැදුවැයි කියන එක එක පැණි වලට කඩේ යන හැටි. කිසිම සායනික පරීක්ෂණයකින් සනාථ නොවුණු පැණි වලට බ්‍රේකින් නිව්ස් පවා ගහමින් විවිධ මාධ්‍ය නාඩගම් නටන හැටි අපි දැක්කා. දැන් ඔය විදියට මොකක් හරි පැණියක් ප්‍රොමෝට් කරන නාලිකා එහෙන් මෙහෙන් කොවිඩ්-19 වැක්සීන් වලටත් පහර ගහනවා අපි දැක්කා. වැක්සීන් කියලා කියන්නේ ආඩාතාඩෙට හදපුවා නෙවෙයිනේ. නියමිත ක්‍රමවේදයක් ඔස්සේ, පරීක්ෂණ පවත්වලා හදපු වැක්සීන් වලට පහර ගහමින්, ඒ කිසිම ක්‍රමවේදයක් පරීක්ෂණයක් නැතුව ඉදිරිපත් කරන පැණි ප්‍රමෝට් කරනකොට, මිනිස්සුත් හිතන්න ගන්නවා ඒක තමයි ඇත්ත කියලා.

ආන්න ඒක නිසා තමයි අපි කියන්නේ එක නාලිකාවක විතරක්, එක පත්තරේක විතරක් එල්ලිලා ඉන්න එපා කියලා. ඊට වඩා නාලිකා දෙකතුනක ප්‍රවෘත්ති බලන්න. පත්තර දෙකතුනක කියලා තියෙන දේවල් බලන්න. අන්න එතකොට යම් දෙයක් ගැන තියෙන වඩාත් වෙනස් අදහස්, තොරතුරුත් දැකගන්න, දැනගන්න තියෙන හැකියාව වැඩි වෙනවා.

 

මේක ඉතින් මනුස්සයෙක්ට අත්‍යාවශ්‍යම, ඒත් ගොඩක් මනුස්සයන්ට නැතිම දෙයක්. ඒ තමයි නිව්ස් එකක් කොයි තරම් දුරට නිවැරදිද කියලා දැනගන්න පුළුවන් සාමාන්‍ය බුද්ධියක් තිබීම. උදාහරණයක් විදියට ගත්තොත්, සමහර මාධ්‍ය ආයතන වලින් අතිශයින්ම ගොන් පාට් නිව්ස් ඉදිරිපත් කරනවා. මතකද එක පාරක් එක පත්තරේක නිව්ස් එකක් ගියා “අඟහරු මත තිබී ගඩොල් හොයාගනී” කියලා. ඕක කියවපු ඕනම සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනෙක්ට තේරෙනවා මේ මොකක් හරි ගොන් පාට් එකක් තමයි කියලා. මොකද, අඟහරු මත ඇත්තටම ගඩොල් තිබිලා හොයාගත්තා නං ඒක බ්‍රේකින් නිව්ස් ගහන ලෙවල් එකේ ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් නිසා. ඉතින් හිතපු විදියටම ඔය ගඩොල් කතාව ඉන්ටර්නැෂනල් පේජ් එකට නිව්ස් ලියන එක මෝඩයෙක් ඉංග්‍රීසි නොදැනීම නිසා කරගත්තු අවුලක් කියලා පස්සේ පැහැදිලි වුනා. අන්න ඒ වගේ තමයි. ඔය තරමට බේසික් ගොන් පාට් තේරුම් ගන්න සාමාන්‍ය දැනීම ඕන.

 

ඔය සමහර පත්තර වල මර්ඩර් කේස් එකක්, රේප් කේස් එකක් එහෙම ලියනවා ආයෙ තොරණෙ විස්තරේ වගේ. උපාසක උපාසිකාවන්ට ඇඬිලා සාදු කියන්නේ. කෙලින්ම ලියපු එකා මර්ඩර් එක වෙනවා දෑහින් බලාගෙන ඉඳලා තියෙනවා!

දැන් ඕවා නිව්ස්ද? නෑ. ඕවා කයිකතන්දර. නිකම් කියවන එකා, බලන එකා තුළ උද්වේගයක් ඇති කරලා “අම්මපා මුංව එල්ලලා මරන්ඩෝනෙ” වගේ හැඟීම් ඇවිස්සුණු කතන්දර කියවගන්න කියන කතන්දර. ඇත්තටම නිව්ස් එකක වාර්තා කරන්න ඕනේ ෆැක්ට්ස්. එතකොට මර්ඩර් එකක් ගැන විශේෂාංගයක් කරනවා නම් ඒකෙන් කතා කරන්න ඕනෙ මේ සමාජ ප්‍රශ්නය ගැන. ආන්න ඒ නිසා යම් සිදුවීමක් ගැන තියෙන භාවාතිෂය, උද්වේගය දනවන කතන්දර අතාරින්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here