දකුණු පළාත ප්‍රධාන පෙළේ MICE ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් Southern MICE Expo 2024 සංවිධානය කෙරේ – Saru News Media | Sri Lanka Business News

0
11

Southern MICE Expo 2024 නිල වශයෙන් දියත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුව 2024 අප්‍රේල් 29 දින පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය 2024 මැයි 27 දින සිට 31 දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමග එක් වී ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau – SLCB) විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ දකුණු පළාත Meetings, Incentives, Conferences, Exhibitions and Events (MICE) කාණ්ඩයේ සංචාරක කටයුතු සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම ය. මෙම ප්‍රදර්ශනය ලොව පුරා MICE සංචාරක සේවා නියෝජිතයන්ට සහ ජනමාධ්‍යවලට, මෙරට දකුණු පළාතේ සංචාරක ආකර්ෂණයන් දැකබලා ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය විසින් මේ වනවිට ලොව පුරා MICE නියෝජිතයන් සහ ජනමාධ්‍ය නියෝජිතයන් විශාල පිරිසකට මෙම ප්‍රදර්ශනය සඳහා ආරාධනා කර තිබේ. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, කටාර්, මැලේසියාව, ජපානය, ඉරානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක් මීට ඇතුළත් ය. ව්‍යාපාරික සමුළුවක්, B2B වැඩසටහනක්, Theme Night වැඩසටහනක් සහ දකුණු පළාතේ සංචාරයක් ඇතුළු වැඩසටහන් රැසක් Southern MICE Expo 2024 ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබේ. එමෙන්ම දේශීය ව්‍යාපාරවලට මෙහිදී ජාත්‍යන්තර සමාගම් සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, දේශීය නියෝජිතයන්ට සහනදායී ගාස්තු යටතේ ප්‍රදර්ශනයට සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබේ.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “ශ්‍රී ලංකාවේ දකුණු පළාත MICE සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය කරවීම සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය දරන උත්සාහයට සහයෝගය ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙහි අරමුණ වන්නේ සියලු පාර්ශ්වකරුවන් එක්තැන් කරමින්, ශ්‍රී ලංකාව තුළ සම කළ නොහැකි MICE අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් සැපයීමයි. මෙමගින් අමුත්තන්ට සහ උත්සව සංවිධායකවරුන්ට සුවිශේෂී අත්දැකීමක් මෙන්ම රටේ ආර්ථිකයට සවිමත් අත්වැලක් හිමි වේවි.”

සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා මෙසේ අදහස් දැක්වී ය. “Southern MICE Expo 2024 ප්‍රදර්ශනය ආර්ථිකය නංවාලමින් යහපත් වෙනසක් ඇතිකිරීමට දායක වනු ඇතැයි කියා අප සිතනවා. මෙමගින් පහසු හා සහනදායී MICE ගමනාන්තයක් මෙන්ම ප්‍රෞඪ ඉතිහාසයක්, සංස්කෘතියක් සහ ස්වාභාවික සෞන්දර්යයක් සහිත, අලුත් අත්දැකීමක් සඳහා ඉතාමත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම ගෝලීය MICE වෙළඳපොළට වැටහේවි.  එමෙන්ම දේශීය හා විදේශීය සංචාරක සේවා සම්පාදකයන්ට එකිනෙකා සමග අත්වැල් බැඳගනිමින් එක්ව දියුණුව ළඟා කරගැනීමටත්, ශ්‍රී ලංකාවේ වැදගත්කම MICE සංචාරකයන්ට පෙන්වා දීමටත් Southern MICE Expo 2024 ප්‍රදර්ශනය මහඟු කාර්යභාරයක් ඉටුකරනු ඇති බව මට විශ්වාසයි.”

මෙම වැඩසටහනේ වැදගත්කම සහ වපසරිය පිළිබඳව සඳහන් කරමින්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ: “විචිත්‍රවත් ඉතිහාසයක් මෙන්ම සුන්දරත්වයෙන් අනූන වෙරළ තීරයක් සහිත දකුණු පළාත MICE සංචාරක කටයුතු සඳහා තෝතැන්නක් ලෙස හැඳින්වීමට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරාම ජනප්‍රිය වීමට එයට හැකියාව තිබෙනවා. එමෙන්ම, තිරසාරත්වය යනු අප කවදත් ප්‍රමුඛත්වය ලබාදෙන දෙයක් නිසා, දේශීය ව්‍යාපාර නගසිටුවමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙනුත් අප දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව, කිසියම් පළාතක වැදගත්කම හුවා දැක්වීමෙන් නොනැවතී, සමස්තයක් ලෙස රටේ ආර්ථිකයන් නගා සිටුවීමට හැකිවන ආකාරයට රටේ විවිධ පළාත්වල ප්‍රදර්ශන පැවැත්වීමට අප තීරණය කළා. ගතානුගතික සම්ප්‍රදායෙන් බැහැර වෙමින්, දේශීය ව්‍යාපාර හා ප්‍රජාවන්ද ඇතුළත් වන පරිදි වඩාත් පුළුල් අත්දැකීමක් තිළිණ කිරීම අපගේ ඉලක්කයයි. මෙම ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර නියෝජිතයන්ට ආරාධනා කර සිටින අතර, ඔවුන්ට අපගේ පූර්ණ සහයෝගය ලබාදීමට අප සූදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි.”

මීට පෙර MICE Expos යන නාමය යටතේ පවත්වන ලද ප්‍රදර්ශන බෙහෙවින් සාර්ථක වීම නිසා, ශ්‍රී ලංකාව MICE ගමනාන්තයක් ලෙස ජනප්‍රිය කරවීමේ අරමුණට සමගාමීව ‘MICE Expos’ යන සන්නාමය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය තීරණය කර ඇත. මෙහි සමාරම්භක සංකල්පය 2021 වසරේදී ගෝලීය වසංගත තත්වය පැවති කාලය තුළ අතථ්‍ය (Virtual) MICE ප්‍රදර්ශනයක් වශයෙන් සංවිධානය කරන ලදි.  මින් අනතුරුව MICE Expo Colombo Edition සහ MICE Expo 2023- Jaffna යන ප්‍රදර්ශන පැවැත්විණි. ඉදිරියේදී මධ්‍යම කඳුකරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ඇතුළු ප්‍රදේශවලද මෙබඳු MICE ප්‍රදර්ශන සංවිධානය කරමින් ගෝලීය MICE සංචාරක කර්මාන්තය ජයගැනීමට ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය බලාපොරොත්තු වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here