දෙස, බස, රැස පෝෂණයට උර දුන් හෙළ හවුලේ ඇත්තෝ – Saru News Media

0
30

හෙළ හවුල ආරම්භ වෙන්නේ 1941 ජනවාරි එකොළොස් වැනිදා. කුමාරතුංග මුනිදාස මහතාගේ සංකල්පයක් අනුව බිහිවුණු මෙම සංවිධානයේ අරමුණ වුණේ දෙස, බස, රැස යන හෙළ තෙරුවන ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීමයි. වසර අසූවකට ආසන්න කාලයක් හෙළ හවුල මෙම අරමුණේ තවමත් රැඳී සිටිනවා.

බොහෝ දෙනෙක්ට හෙළ හවුල  කිව්වම මතක් වෙන්නේ කුමාරතුංග මුනිදාස, රැපියල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු වගේ නම් කීපයක් පමණයි. මේ නිසා අපි හිතුවා හෙළ හවුලට සම්බන්ධ වෙලා සිංහල භාෂාවට වගේම සිංහල සාහිත්‍යයටත් මහඟු සේවාවක් කරපු විශිෂ්ටයෝ කීප දෙනෙක් ගැන කතා කරන්න. 

 

කුමාරතුංග මුනිදාස මහත්මයාගේ දකුණු අත විදිහට ජයන්ත වීරසේකර මහතාව සැලකෙනවා. හෙළ හවුල සංවිධානය  සඳහා ඒ නම ලබාදෙන්නේත් ජයන්ත වීරසේකර මහත්මයා. හෙළ හවුලේ අනෙක් උගතුන් වගේ පොත පත රචනා කරන්න එතුමාට නොහැකි වුණේත් කුමාරතුංග මුනිදාස මහත්මයාගේ පොත්පත් සංස්කරණය කිරීමේ වැඩ වලට උදව් වීම නිසා බව කියවෙනවා. නමුත් සුබස සඟරාවල එතුමා විසින් ලියූ හරබර ලිපි වගේම සිංහල භාෂාව නොදත් උගතුන්ව හාස්‍යයට ලක් කරමින් “ගද්‍රභයා” නමින් ලියූ ලිපිත් දක්නට ලැබෙනවා. රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ කුකවි වාදය සම්බන්ධ පුවත් පත් ලිපි සහ ආනන්ද විද්‍යාලයේ පැවැත්වුණු රැස්වීමේදී සිදු කළ කතා එක් කොට එතුමා විසින් කුකවි වාදය නමින් පොතක් පළ කරනවා.

 

අලව් ඉසි සැබිහෙළ මහත්මයා හෙළහවුලේ ඇසුරට පත් වෙන්නේ අපූරු විදිහකට. පානදුර පිරිවෙනක ඉගෙනුම ලබපු ඔහු “නීකත” නමින් පොතක් රචනා කරනවා. මේ පොතට හැඳින්වීමක් ලියාගන්න ඔහු කුමාරතුංග මුනිදාස සූරීන්ව මුණ ගැහෙනවා. කුමාරතුංග මහත්මයා මේ පොතේ වැරදි සිය ගණනක් ලකුණු කරලා ඒවා නිවැරදි කරනවා. එදායින් පස්සෙ ඔහු නැවත පිරිවෙනට යන්නේ නැහැ. කුමාරතුංග මුනිදාස මහත්මයාගෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා. “සවියෙල්” කියලා තිබ්බ උප්පැන්න සහතිකයේ නමත් “අලව් ඉසි සැබිහෙළ”කියලා වෙනස් කර ගන්නවා. සිංහල භාෂාව සහ සාහිත්‍ය​යේ උන්නතිය වෙනුවෙන් එතුමා කෘති ගණනාවක් රචනා කරනවා. ගීත ගෝවින්දය “ගෙවිඳු ගීය” නමින් සිංහලට පරිවර්තනය කරනවා. එතුමා තමන්ගේ විශිෂ්ටතම නිර්මාණය විදිහට සලකන්නේ “බුදු සිරිත” නමින් රචනා කරපු භක්ති ගීත කාව්‍යයයි. ඊට අමතර ව එතුමා විසින් ශබ්දකෝෂයක් රචනා කිරීම සිද්ධ ක​ළත් එය​ට මුද්‍රණයෙන් එළි දැකීමට නම් නොහැකි වී තිබෙනවා.

 

වෙල්ලාල ජයමහ මහත්මයා තමන්ටත් වඩා තමන්ගේ ගෝලයෙක් නිසා සම්භාවනාවට ලක් වෙන පුද්ගලයෙක්. වර්තමාන පරම්පරාවේ බොහෝ දෙනෙක්ට නම් තියපු අරිසෙන් අහුබුදු මහත්මයාගේ ගුරුතුමා විදිහට සැලකෙන්නේ වෙල්ලාල ජයමහ මහත්මයායි. “ගඟේ ගිය මිණ” පද්‍ය ග්‍රන්ථ වගේම ගද්‍ය ග්‍රන්ථ කීපයකුත් රචනා කරපු වෙල්ලාල ජයමහ මහත්මයා කුමාරතුංග මුනිදාස මහත්මයාගේ සහ ජයන්ත වීරසේකර මහත්මයාගේ හදිසි අභාවයන්ගෙන් පස්සේ හෙළ හවුල ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා. ඒ වගේම අනුරාධපුර යුගයේ දොළොස් මහා කවීන් අතරින් කෙනෙකු ව​න දළ සල කුමරුවන්ගේ “සැරය” නැමැති කෘතිය පළ කිරීමත් ජයමහ මහත්මයා අතින් සිදුවුණු විශේෂ කර්තව්‍යයක් විදිහට සලකන්න පුළුවන්.

 

හෙළ හවුලේ බිහිවුණ වැඩි හරියක් උපන්ගෙයි කවියෝ. ​ඒ අ​ය අතරින් සියලු දෙනාම පාහේ විටින් විට ගීත රචනා කළා. ඒත් ඒ ක්ෂේත්‍රය තුළ ඉදිරියට ගි​යේ අරිසෙන් අහුබුදු සූරීන් සහ හියුබත් දිසානායක සූරීන් පමණයි. සුනිල් ශාන්ත විසින් ගායනා කරන “මිහිකත නලවලා” ගීතය ලියවෙන්නෙ මේ හියුබත් සහ සුනිල් සුසංයෝගය නිසයි. “සුවඳ රෝස මල් නෙලා” සහ ” සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන” කියන්නේ ඒ හියුබත් දිසානායකයන් විසින් රචනා කළ තවත් ජනප්‍රිය ගීත දෙකක්. සැබිහෙළ මහත්මයා වගේම හියුබත් මහත්මයත් තමන්ගේ නම හෙළ ඌරුවට සකස් කරගත් අයෙක්. එතුමාගේ මුල් නම වෙලා තියෙන්නේ හියුබට්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here