නාන කාමරේදි ඔයා මේ දේවල් නොකරනවා නම් ඒක නාන කාමරයක් නෙවෙයි – things people do in bathrooms – Saru News Media

0
21

වැට අයිනෙන්, ඇළෙන් දොළෙන් වල කක්කුස්සියටත් එතැනින් ටයිල් අල්ලලා බත් දාගෙන කන්න පුළුවන් විදියට හදාපු නිර්මාණයක් තමයි ගෙදරක නාන කාමරය. ඉස්සර (මදුරු) ඇටෑක් බාත් රූම් තිබ්බා. දැන් තමයි ඇටෑච්ඩ් වෙලා ඇවිත් තියෙන්නේ. මේ විදියට පරිණාමය වුණ නාන කාමරය දැන් ගෙදරක බහුකාර්‍ය සේවා ස්ථානයක් වෙලා. මේ සේවා ස්ථානයේ සේවාදායකයන් විදියට අපි සේවා සලසගන්න විදිය දැන් බලමු.

 

අපි හැමෝම උපන්ගෙයි දක්ෂයෝ. හැබැයි වැඩේ කියන්නේ මේ දක්ෂකම් හැබෑ ලෝකෙට දෙන්නේ කීප දෙනයි. මේ නිසා දක්ෂතා හැංගෙනවා. ඒවා එළියට එන අරුම පුදුම තැනක් තමයි නාන කාමරය. වතුර මලට ඔලුව අල්ලන් ඉඳලා වතුර පොදක් ඇඟේ ගෑවුණාම සන්නිය හැදෙනවා. ඒක පැය භාගයක විතර නොනවතින නැටුම් සංදර්ශනයක ආරම්භය. නැටුමත් එක්කම සින්දුවක් කියැවෙන්න පටන් ගන්නවා. ඇත්තටම නාන කාමරය වෙනස්ම තැනක්. නිකන් රියැලිටි ෂෝ එකකට ගියා වගේ තමයි. ගෙදර කවුරුත් නැත්තන් හොඳට උගුරේ රැල්බුරුල් ඇරලා අපි සින්දු කියනවා. ගෙදර කට්ටිය හිටියත් ගානට තාලේ අල්ලන එක කරන්න පුළුවන් වැඩක්. ඊළඟට රංගනය. තරමක පත කණ්ණාඩියක් තියෙනවා නම් මේ වැඩේ ටක්කෙටම සාර්ථක වෙනවා. ඒ නැතත් ප්‍රතිභාපූර්ණ රංගනයට කිසිම හානියක් වෙන්නේ නෑ. අපිට අපි කැමති ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේක්ෂකයොත් අපි. රඟන්නෙත් අපි. ඔය මොන දර්ශනේ දැම්මත් උඩ පනිනකොට පරිස්සම් වෙන්න ඕනි. පොඩ්ඩ බැරි වෙලා කකුල ලිස්සුණොත් සැඟවුණ දක්ෂතා හැංගුණාම තමයි.

 

නාන කාමරය අංක එකේ හොර ගුබ්බෑයමක්. හොරෙන් කෝල් එකක් ගන්න ඕනි වුණාම මේක දේවාලයක් වෙනවා. තව ලියුමක් වගේ දෙයක් නිදහසේ අත දිග ඇරලා ලියන්න, කියවන්න, කියවලා ඉරලා දාලා ඒක සුන්නද්ධූලි කරලා දාන්නත් නාන කාමරේ ඉඳන් පුළුවන්. ඒක ඉතින් හැමෝටම අදාළ දෙයක් නෙවෙයි.

 

ඕනි තූත්තුකුඩියක ඉඳන් හිතන්න පුළුවන් තමයි. හැබැයි නාන කාමරේ ඉඳන් හිතන හිතිල්ලට සීමා මායිම් නෑ, මෙලෝ බාධාවක් නෑ, වෙලාව යනවා දැනෙන්නෙත් නෑනේ. හිතන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අතීතය ගැන හිතන එක ගැන කතා කරොත් එක්දාස් නවසිය ගණන්වල අහවල් මාසේ තිස් එක්වෙනිදා රෑ හතයි පනස් හයට තමන්ගේ කොල්ලා මැසේජ් එකට රිප්ලයි කරන්න පරක්කු වුණේ ඇයි වගේ සම්භාවනීය දේවල් තමයි. ඉස්කෝලේ කාලේ කරපු ඇම්ඩන් වැඩ මතක් වුණෝතින් පැයකටවත් නාන කාමරෙන් එළියට එනවා බොරු. අනාගතය ගැන හීන මැවෙන එක නාන කාමරවල වෙන ආශ්චර්යයක්. චිත්‍රපට ජවනිකා වගේ අපි හිතන දේවල් අපේ ඇස් ඉස්සරහම මැවෙන්න පටන් ගන්නවා. ඒ නිසාම ඒ හිතන දේවල් නවත්තන්න හිතෙන්නෙත් නෑ. කාලය ගැන හාංකවිසියකුත් නෑ. කවුරුහරි දොරට තඩිබානකන් ම හිතීමේ අවකාශය තියෙනවා.
නාන කාමරේදී සිතීම කියන සංකල්පය මෙහෙක් කරනකොට ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකේ තවත් පැතිකඩ තියෙනවා. කණ්ණාඩිය දිහා බලාගෙන වටේ ඉන්න යාළුවෝ ලස්සන වෙලත් තමන් ඇයි මෙච්චර කැත කියලා හිතන්න පුළුවන්. ඊයේ මේ කණ්ණාඩියෙන්ම දැකපු තමන්ගේ රූපේ තවත් ටිකක් මහත් වුණේ කොහොමද වගේ අති සෝචනීය දේවල් හිතන්න නාන කාමරේ ඕනිවටත් වඩා ඉඩ වැඩී. කවියක් කුරුටු ගෑවෙන්න නාන කාමරය තරම් වාතාවරණයක් තවත් නෑ. පොදු වැසිකිළියක් ගත්තත් බිත්ති වැහෙන්න කුරුටු ගී ලියැවිලා තියෙන්නෙත් මේ සාධකේ නිසාම වෙන්න ඕනි.

 

නැගිට්ට වෙලාවේ ඉඳන් නිදි පැදුරට යනකන් ළඟින්ම ඉන්න ඕනෑ කරන දුරකථනය නාන කාමරේට යද්දි දාලා ගියේ ආදි කාලේ. සමහරවිට බහිස්ස්‍රාවය හරියට වෙන්න නම් දුරකථනය ඕනි ඇති. අනික කෝල් ගන්න මේවා පාවිච්චි කරෙත් ටිකක් කාලෙකට ඉස්සරනේ. නාන කාමරේට ගොඩ වැදුණ ගමන් සෙල්ෆියක් ගන්න එක දැන් ප්‍රවණතාවක්. ඊළඟට සෝෂල් මීඩියාගත වීම සහ මොබයිල් ගේම්ස් සෙල්ලම් කරන එක. මේවා නම් ඉතින් දැහැනකට සමවැදුණා වගේ වෙන වැඩ. හැබැයි මේවා විවේචනය කරන්න කවුරුත් ඔයාව දකින්නේ නෑ. විනාඩි දහයෙන් කරගන්න ඕනි වැඩේට පැය එකහමාරක් යන්නේ මේවගේ ආනුභාවයෙන් තමයි.

 

මේක එන්නේ අන්තිමට. නිදන කාමරයේ, සාලයේ, කුස්සියේ මේ දේවල් කරන්න බැරි නිසා නාන කාමරයට දෙයියනේ කියලා එන්න වෙලා තියෙනවා. බිත්ති හතරකින් වටවෙලා තියෙන නිසා තමන්ගේ පාඩුවේ නා කියා ගන්න පුළුවන්. හැබැයි ඉතින් කරගන්න ඕනි වැඩ අහවර වෙලා තවත් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට නාන කාමරය පිරිසිදු කරන්න ඕනි.

ගෙදරක් සැලසුම් කරනකොට අනික් කොටස්වලට වඩා නාන කාමර සැලසුම්කරණයට ප්‍රමුඛත්වය දෙන්න ඕනි. මේ තරම් සේවයක් සපයන තැනකට කුඩම්මාගේ සැලකිලි දෙන්න බෑනේ. විසි එක්වෙනි සියවසට මේ පරිණාමය මෙච්චරයි. ඉස්සරහට නාන කාමර තව තවත් අඩව් අල්ලන්න සැදී පැහැදිලා ඉඳීවි.

 
Cover Image Source – entrepreneur.com
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here