නොබෙල් ත්‍යාගය සම්බන්ධ ප්‍රකට සහ අප්‍රකට කතා කීපයක් – Saru News Media

0
9

නොබෙල් ත්‍යාගය කියන්නේ ලෝකය ඉතා ඉහළ මට්ටමේ පිළිගැනීමක් ලැබෙන ත්‍යාගය කියන එක ගැන කතා දෙකක් නෑ. මේ ත්‍යාගය ලබන පුද්ගලයාට රන් පදක්කමක්, ඩිප්ලෝමා සහතිකයක් සහ මුදල් ත්‍යාගයක් හිමි වෙනවා. මේ මූල්‍යමය අගයට වඩා වැඩි මූල්‍යමය වටිනාකම් ලබාදෙන වෙනත් ත්‍යාග අද වෙනකොට ලෝකය තුළ අපිට දකින්න ලැබුණත්  ඒ කිසිදු ත්‍යාගයකට නොබල් ත්‍යාග සමාන පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. නොබෙල් ත්‍යාගය ලබා දෙන පුද්ගලයින් තීරණය කිරීම සඳහා ස්වීඩනයේ සහ නොර්වේ රාජ්‍යයේ ආයතන කීපයක් මැදිහත් වෙනවා. 

අපි අද කථා කරන්න යන්නේ නොබෙල් ත්‍යාගය සම්බන්ධ ප්‍රකට සහ අප්‍රකට කතා කීපයක් පිළිබඳවයි.

 

නොබෙල් ත්‍යාගය ලබාදීම ආරම්භ කිරීම සිදු වන්නේ ඩයිනමයිට් සොයාගත් ස්වීඩන ජාතික රසායන විද්‍යාඥයෙක් වන ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැත්තේ දක්වා ඇති ප්‍රතිපාදන අනුවයි. ඒ සඳහා ඔහු තමන්ගේ බූදලය යොදවා තිබෙනවා. මේ ත්‍යාග ආරම්භ කිරීම සඳහා ඔහු පෙළඹ වූ හේතුව විශේෂයි. ඩයිනමයිට් සොයා ගැනීම නිසා ඔහුට විශාල ධනස්කන්ධයක් උරුම වුණා. නමුත් තම නිර්මාණය යුද්ධ කටයුතු සඳහා යොදා ගෙන මිනිස් ඝාතන සඳහා යෙදවීම පිළිබඳව ඔහුට තිබුණේ කනස්සල්ලක්. දවසක් ඔහුට පුවත්පත් මගින් අමුතුම ආකාරයේ ප්‍රවෘත්තියක් කියවන්නට ලැබුණා. වැරදි මූලාශ්‍රයක් නිසා එම පුවත්පත ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගිය බවට වාර්තා කොට තිබුණා. එහි සිරස්තලය ලෙස සඳහන් වුණේ මරණයේ වෙළෙන්දා මිය යයි යනුවෙන් (Merchant of death is dead). තමාව මෙසේ හැඳින්වීම ගැන අතිශයින් කනස්සල්ලට පත් වුණු ඇල්ෆ්‍රඩ් නොබෙල් තම ධනය මිනිසාගේ සුභසිද්ධිය වෙනුවෙන් කැපවෙන සහ විවිධ සොයාගැනීම් සිදු කරන විද්‍යාඥයන් වෙනුවෙන් යෙදවීමට තීරණය කළා. ඔන්න ඔය විදිහටයි නොබෙල් ත්‍යාගය පිරිනැමීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමති පත්‍රයට ඇතුළත් වුණේ.

 

නොබෙල් ත්‍යාගයට ලැබෙන පිළිගැනීම නිසාම මේ ත්‍යාග සම්බන්ධයන් විවිධ විරෝධතා ඇති වීම සාමාන්‍ය ස්වභාවයක්. නොබෙල් කමිටුවට එල්ල වී ඇති බරපතළම චෝදනාවක් වන්නේ එම කමිටුව කාන්තා විද්‍යාඥවරියන් සඳහා අඩු සැලකිලි දක්වන බවයි. නොබෙල් ත්‍යාගලාභීන් අතර කාන්තා ප්‍රතිශතය අතිශයින් අඩු අගයක් ගැනීම මීට සාධකයක් ලෙස මේ චෝදනාව සිදු කරන අය ලබාදෙනවා. මේ ගැටලුව වැඩි වශයෙන් කතාබහට ලක් වුණේ 1974 වසරේ භෞතික විද්‍යාව උදෙසා පිරිනැමුණු නොබෙල් ත්‍යාගය නිසායි. එම ත්‍යාගය ඇන්තනී හෙවිෂ් සහ මාටින් රයල් යන දෙදෙනාටම පිරිනැමුණේ  පල්සර් තරු පිළිබඳ ව සිදුකළ අධ්‍යයනය නිසයි. නමුත් ඇන්තනි හෙවිෂ් සමග අදාළ මූලික අධ්‍යයනය සිදු කර පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කළ ජොසලින් බෙල්ගේ නම නොබෙල් කමිටුවට මඟ හැරී තිබුණා.

 

දෙවැනි ලෝක යුද්ධ සමයේදී නාසි ජර්මනිය තම රටේ විද්‍යාඥයන්ට නොබෙල් ත්‍යාගය ලබා ගැනීම තහනම් කළා. මේ අවස්ථාවේදී තම නොබෙල් පදක්කම් රජය මගින් පවරා ගනු ඇතැයි බිය වුණු ජර්මානු නොබෙල් ත්‍යාග ලාභීන් වූ මැක්ස් වෝන් ලෝ සහ ජේම්ස් ෆ්‍රෑන්ක් එවකට ඩෙන්මාර්කයේ වාසය කළ තවත් නොබෙල් ත්‍යාග ලාභියෙකු වන නීල්ස් බෝර් වෙත තම පදක්කම් යවනු ලැබුවා. නමුත් අවාසනාවකට ඩෙන්මාර්කයත් ජර්මනියට යටත් වූ අතර තම මිතුරන් එවු රන් පදක්කම් සුරක්‍ෂිත කිරීමට ක්‍රමයක් සොයා බෝර් දස අතේ කල්පනා කළා. එහිදී ඔහුගේ සහයකයෙකු ලෙස ක්‍රියා කළ අනාගත නොබෙල් ත්‍යාග ලාභියෙකු වු ජෝර්ජ් හේසී අපුරු යෝජනාවක් කළා. ඒ රන් පදක්කම් දිය කිරීමයි. ඒ අනුව ඇක්වා රීජියා නම් ආම්ලික ද්‍රවණයක් මගින් පදක්කම් දෙක දිය කරනු ලැබුවා. ආක්‍රමණික ජර්මානුවන් එම පර්යේෂණාගාරය පුරා සෝදිසි කළ ද කිසිදු සැක කටයුතු යමක් සොයා ගැනීමට නොහැකි වුණා. යුධ සමය නිමවී නැවත එම පර්යේෂණාගාරයට පැමිණි ජෝර්ජ් හේසී විසින් එම රන් නැවත නොබෙල් ත්‍යාග ලබා දෙන ස්වීඩන ආයතනයට භාර දුන් අතර එම ආයතනය විසින් අදාළ රන් පදක්කම් දෙක නැවත සකස් කොට අදාළ ත්‍යාගලාභීන් දෙදෙනාට ලබා දෙනු ලැබුවා.

 

නොබෙල් ත්‍යාග කෙරෙහි හිට්ලර් දැඩි වෛරයක් ඇති කර ගැනීම ආරම්භ වුණේ 1935දීයි. ඊට හේතුව වූයේ හිට්ලර්ව දැඩි ලෙස විවේචනය කළ පුවත්පත් කලාවේදියකු වන කාර්ල් වොන් ඔස්ටියුස්කි හට එම වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කිරීමයි. මේ නිසා එතැන් පටන් නොබෙල් ත්‍යාග ලබා ගැනීම ජර්මානුවන්ට තහනම් වුණු අතර ඒ සඳහා විකල්පයක් ලෙස කලාව සහ විද්‍යාව පිළිබඳව ජර්මානු ජාතික ත්‍යාගය නමින් විශේෂ ත්‍යාගයක් නිර්මාණය කිරීමට නාසි ජර්මන් රජය තීරණය කළා. එසේම 1936 වසරේදී විවිධ ක්ෂේත්‍රයන්වලට අදාළව ජර්මානු විද්‍යාඥයන් තිදෙනෙකුට නොබෙල් ත්‍යාග හිමි වුණත් ඔවුන්ට එම ත්‍යාග ප්‍රතික්ෂේප කිරීමට සිදු වුණා. නමුත් දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් පසුව අදාළ ත්‍යාග එම විද්‍යාඥයන් වෙත ලබාදීමට නොබෙල් කමිටුව තීරණය කළා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here