මන්කිපොක්ස් කියන්නෙ මොන වගේ එකක්ද? – Saru News Media

0
10

මේක වෛරස් එකක්. කොරෝණා වෛරසය තරම් දරුණු නැති වුනත් මේකත් ගෝලීය වසංගත තත්වයක් දක්වා පැතිරෙන්න පුළුවන් වෛරසයක්. වසූරිය වෛරස් පවුලට තමයි අයිති. මූලික වශයෙන්ම ලේනුන්, මීයන්, විවිධ වඳුරන් සහ වෙනත් සතුන් ඇතුළු බොහෝ සතුන්ගෙන් බෝවෙනවා. ඒ වගේම මිනිස්සුන්ගෙනුත් බෝවෙනවා.

මේ වෛරස් එක මධ්‍යම හා බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමීය ප්‍රදේශවල, නිවර්තන වැසි වනාන්තරවල ආසන්නයෙන් තමයි මුලින්ම ආරම්භ වෙන්න පටන් ගත්තේ. මේ වෙනකොට රටවල් 96 කට ආසන්න ප්‍රමාණයක තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 35,838 ක් වෙනවා. මේ තත්වය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ‘ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්’ (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා.

කොරෝණා වෛරසය වගේම මේ රෝගයෙන් බේරෙන්නත් අතේ දුරින් ඉන්න එක වැදගත් වෙනවා. ‘මන්කිපොක්ස්’ ආසාදිත පුද්ගලයෙකු හෝ සතෙක් සමඟ ඉතා සමීප ආශ්‍රය නිසා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු වෙන්න පුලුවන්. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල, අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වලත් වෛරසය තියෙන්න පුලුවන්. ඒ වගේම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගයත් එක්ක බලනකොට ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

මේ වෛරසයේ රෝග ලක්ෂණ අපි හොඳින්ම දන්න පැපොල, සරම්ප රෝගවල රෝග ලක්ෂණ වලට සමාන කමක් දක්වනවා. උණ, දැඩි හිසරදය, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව එක්ක ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 – 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවෙන්න පුලුවන්. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි, ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමත් එක්ක රොගය සුව වෙනව.

ඉහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම් වහාම අන් අයගෙන් වෙන් වී සිටීම ඉතා වැදගත්. ඒ වගේම ඔයා මන්කිපොක්ස් මේ වෙනකෙට තියෙන රටකට ගිහින් ආපු කෙනෙක් නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්නත් අමතක කරන්න එපා. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ මලාවක් හඳුන්වල දීල තියෙනවා. ඒවා අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.

සරම්ප, පැපොල රෝගය වගේම තමයි ‘මන්කිපොක්ස්’ සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. හොඳින් පෝෂණීය ආහාර ගන්න ඕනි. ප්‍රතිශක්ති තියෙන ආහාර වගේම තමයි දියර ආහාරත් ලබා ගන්න. හොඳින් වතුර බොන්නත් ඕනි.

අප රටෙන් තවම රෝගීන් වාර්ථා වී නෑ. නමුත් ලංකාව අවට රටවල් කිහිපයකම ‘මන්කිපොක්ස්’ රෝගීන් වාර්ථා වෙනවා. කොංගෝ, ඇමරිකා, ආජන්ටිනා, දකුණු අප්‍රිකාව, වෙනිසියුලා, ජර්මනි, ඉතාලි, ඕස්ට්‍රේලියා, සිංගප්පූරුව වැනි රටවල් ඇතුළුව රටවල් 96 කට ආසන්න ප්‍රමාණයක වාර්ථා වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here