මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ට එරෙහි මඩ ප්‍රහාරයක් ?

0
9

කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉලක්ක කරමින් ඉදිරිදින කිහිපය තුලදී දැවැන්ත අවලාද හා අපහාස මෙහෙයුමක් දියත් වීමේ

සූදානමක් පිළිබද තොරතුරු වාර්තාවේ.

කොළඹ අලුත්කඩේ උසාවියේ නීතිඥවරුන් පිරිසක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකර ඇති අතර ඒ පිළිබඳව නිසි අවධානයෙන් සිටීමටත්, එවැනි මතුවුවහොත් වහාම ප්‍රතිචාර දැක්වීමටත් තීරණය කර ඇත.

ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්වරයා මේ වන විට මහාධිකරණ විනිසුරු ධුරයට උසස්වීම් ලබා ඇත.

ඔහු පසුගිය කාලයේ ආන්දෝලනාත්මක නඩු තීන්දු කිහිපයක්ම ලබාදී ඇති විනිසුරුවරයෙකි.

* වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන පනත) පාවිච්චි කළ නොහැකි බවට ඔහු ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

* අයිසීසීපීආර් පනත අවභාවිතයට එරෙහිව තීන්දු ලබා දුන් ඔහු, අවස්ථා ගණනාවකදී පොලීසියේ අනීතික නියෝග සහ පුද්ගලයන් ඉලක්ක කරමින් ගොනු කළ චෝදනා ප්‍රශ්න කර තිබේ.

* රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පක්ෂපාතීව විමර්ශන කරන බවට මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වරෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද චෝදනා කර තිබිණ.

*  2022 මාර්තු 31 වැනිදා මිරිහාන සිදුවීමට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඉදිරිපත් කරන ලද්දේද එවකට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න අල්විස්  ඉදිරිපිටටය.

මෙවැනි නඩු තීන්දු ප්‍රකාශයට පත්කිරීමත් සමග, ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන විනිසුරුවරයෙකු ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්ල අල්විස් ගෞරවාදරයට පාත්‍රවිය.  

ඔහුට එල්ල වී ඇති තර්ජනාත්මක තත්වය පිළිබද සදහන් කරමින් මේවනවිට නීතිඥවරුන් සහ අධිකරණය පිළිබද උනන්දු පිරිස් අතර වට්ස්ඇප් පණිවිඩයක්  
සංසරණය වෙමින් තිබේ.

එම පණිවිඩය මෙසේය.

‘උසස්වීම් ලද විනිසුරු ප්‍රසන්න අල්විස් ඉලක්ක කරගෙන අපහාසාත්මක ප්‍රහාර මාලාවක් දියත් කිරීමට පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සහ අධිකරණ නිලධාරීන් කීපදෙනකු අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ප්‍රසන්න අල්විස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාවරයාව සිටියදී ආණ්ඩුව විසින් දේශපාලනික හේතු මත අනීතිකව අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ම ඉතා එඩිතර තීන්දු ලබාදෙමින් නීතියට අනුව ඔවුන්ව නිදහස් කිරීම සඳහා නියෝග ලබාදෙන ලදී. තවද යුක්තිය වැනි මෙහෙයුම් හරහා අහිංසක පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්ථාවලදී ඒ මහතා පොලිසියේ පවතින කාර්ය පටිපාටික දෝෂ සම්බන්ධයෙන් සහ නිර්දෝෂී පුද්ගලයින් වැරදි ආකාරයට අත් අඩංගුවට ගැනීම සම්බන්ධව නිරන්තරයෙන්ම පොලිසියට චෝදනා එල්ල කරන ලද විනිශ්චකාරවරයෙකු වේ. දිගින් දිගටම ඒ ආකාරයේ අපක්ෂපාතී සහ එඩිතර තීන්දු ලබාදෙන විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් විවිධ චෝදනා සහ මඩ ප්‍රචාර එල්ල කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මකව පවතින අතර එහිදී ප්‍රසන්න අල්විස් මහතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තාවේ.

මෙහි මූලික පියවර ලෙස විනිසුරු ප්‍රසන්න අල්විස් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාව සිටියදී මහේස්ත්‍රාත් අධිකරණයේ අස්ථානගත වූ නඩු භාණ්ඩ කීපයක් සම්බන්ධ කොට ප්‍රචාරයන් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වේ.

කෙසේ නමුත් එලෙස නඩු භාණ්ඩ අස්ථානගත වීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාව සිටියදීම පැමිණිලි කර තිබෙන තත්ත්වයක් තුළදී මේ ආකාරයෙන් ප්‍රචාරයන් දියත් කිරීමට කටයුතු කර තිබීම හරහා එය සැලසුම් සහගත පළිගැනීමක් බව තහවුරු වෙයි.‘

මෙම පණිවිඩයේ ඇති සත්‍යාසත්‍යතාව පිළිබද නිශ්චිත කරුණු නොමැති නමුත්, මීට පෙර ශානි අබේසේකර වැනි පොලිස් නිලධාරීන් සහ ජනාදරයට පත් වූ විවිධාකාරයේ පුද්ගලයන්ට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම ඔවුන් නීතිමය වශයෙන් පීඩාවට පත් කිරීමට ක්‍රියා කර ඇති පසුබිමක ප්‍රසන්න අල්විස්ට එරෙහිව ද නුදුරේදීම දරුණු ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ වේදැයි නීති ක්ෂේත්‍රයේ පිරිස් විමසිල්ලෙන් පසු වේ. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here