මෑත ඉතිහාසයේ සිදුවූ සුඛෝපභෝගී මගී නැවු අනතුරු සහ අකරතැබ්බ – Saru News Media

0
3

ගුවන් යානය සමග රටකින් රටකට යෑමට පටන් ගැනීමත් සමග නෞකාවල තිබූ වටිනාකම අඩු විය. බටහිර රටවල නම් තවමත් සැප පහසු මගී නෞකාවල ගමන් සුඛෝපභෝගී සංචාරක අත්දැකීමක් ලෙස ක්‍රියාත්මක වේ. දියුණු රටවල වැඩිහිටියෝ නෞකාවකට වී සිය සමවයස් සඟයන් සමග විවේකයෙන් නන් දෙස සංචාරය කිරීමට කැමතිය. නාවුක ගමන් යනු එතරම් වේගවත් නැති විවේකයෙන් යන ගමනකි. එහෙත් මෑත ඉතිහාසයේ සුඛෝපභෝගී මගී නැව් වලට (Cruise Ship) සිදු වූ අනතුරු රැසක්ම වාර්තා වේ. අපි එයින් කිහිපයක් සලකා බලමු.

 

1991 දී ඕශනස් නෞකාව ලන්ඩනයේ සිට දකුණු අප්‍රිකාව දක්වා යාත්‍රා කරමින් තිබියදී අයහපත් කාලගුණය නිසා ගිලී ගියේය. එවිට නෞකාව තිබුණේ දකුණු අප්‍රිකාවට ආසන්නයේ යාත්‍රා කරමිනි. නැවට උවමනා කරන අලුත්වැඩියා කිරීම් කිහිපයක්ම අතපසු කර තිබුණ අතර භාවිතයෙන් ඉවත් කිරීමට තරම් පැරණි එකක්ද විය. අබලන් නැව කුණාටු තත්ත්වය හේතුවෙන් ගිලී යන්නට තනන විට එහි මගීන් 571ක් ගමන් කරමින් පසුවිය. දකුණු අප්‍රිකානු නාවුක හමුදාව හෙලිකොප්ටර් රථ 16කින් මගී ජනයා ළඟම ගොඩබිමට සේන්දු කරන්නට වූයේ පැවති දැඩි කාලගුණය මධ්‍යයේය. නැවේ විසූ 571 දෙනාම නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන්වා ගන්නට දකුණු අප්‍රිකානු නාවික හමුදාවට හැකි විය. එහිදී නැවේ ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණ මුත් ඒවාද ඒ අවස්ථාවේ භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වී තිබුණි.

 

ඇන්ටාක්ටික් සයුරෙහි ගවේෂණ කටයුතු සඳහා විශේෂයෙන්ම සකස් කළ මෙම එක්ස්ප්ලෝරර් නැව 2007 දී ආක්ටික් සයුරේ ගිලී ගියේය. එවිට නැවේ 154ක් කාර්යමණ්ඩලය සහ මගීන් ගමන් කළෝය. ඒ සියල්ලෝම ගලවාගන්නට හැකි විය. එහෙත් මේ සිදුවීම ඇන්ටාක්ටික් සයුර වැනි අයිස් පර පිහිටි ධ්‍රැවාසන්න සයුරේ යාත්‍රාවන්ට අලුත් නීති රීති රෙගුලාසි පැනවීමට හේතුවුණ සිද්ධියක් විය. මෙහිදී නැවේ වූ ජීවිතාරක්ෂක බෝට්ටු වලට ගොඩ වූ මගී ජනයාට අධික ශීතලට මුහුණපාන්නට සිදුවිය. එහෙත් පෑ කිහිපයකින් ළඟා වූ ආසන්න නෞකා වලට ඔවුන් ඇතුළත් කර ගන්නා ලදී. සිද්ධියේදී පිරිස දිවි ගලවාගත්තද ජීවිතාරක්ෂක බෝට්ටු වලට උවමනා ප්‍රමාණයට වඩා සෙනග පටවන්නට සිදුවීම, ජීවිතාරක්ෂක බෝට්ටු වල එන්ජින් ක්‍රියාවිරහිත වීම වැනි චෝදනා නැවට එරෙහිව එල්ල විය.

 

සීබෝන් යනු සුප්‍රකට කානිවල් සමාගමේ උප සමාගමකි. සීබෝන් ස්පිරිට් නම් වූ සැපපහසු මගී නැව ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට කෙන්යාවේ මොම්බාසා වරාය දක්වා සෝමාලියාව හරහා යාත්‍රා කරමින් සිටියේය. එවිට හදිස්සියේම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට නැව ලක්විය. 2005 නොවැම්බර් මුලදී සිදු වූ මෙම සිදුවීමේදී නැව කොල්ලකරුවන්ට හසු වූයේ නැත. රොකට් අවි ඇතුළු බර අවි සහිතව සිටි කොල්ලකරුවන්ට නැව හසුවුණි නම් පිරිස 350ක් පමණ සිටි නැවට සිදුවන්නේ මහත් අභාග්‍යයකි. මෙහිදී නැවෙන් කොල්ලකරුවන්ට අවි ප්‍රහාර එල්ල වුනේ නැතත් මගීන් ආරක්ෂිත ස්ථානවලට යැවූ කාර්යමණ්ඩලය නැව වේගයෙන් යාත්‍රා කරවන්නට විය. එයින් මගීන්ට හානියක් සිදු නොවූ මුත් යම් ලෙසකින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කොට නැව සිරබාරයට ගත්තේ නම් එතැන ඛේදවාචකයකි ඇතිවන්නේ.

 

කානිවල් සමාගමට අයත් කොස්ටා කොන්කෝඩියා අනතුර මෑත ඉතිහාසයේ මගී නෞකාවක සිදුවූ විශාලතම ඛේදවාචකය ලෙස දැක්විය හැකිය. මධ්‍යධරණී මුහුදේ ඉතාලියානු දූපතක් වඩාත් හොඳින් දර්ශනය වීම පිණිස 2012 ජනවාරි 13 දින රාත්‍රී 9.30ට ආසන්න කාලයේදී දූපතට ආසන්නව නැව නොට් 16ක වේගයෙන් යාත්‍රා කරන ලදී. එහෙත් මගීන් සහ කාර්යමණ්ඩලය 4000ක් පමණ සිටි කොන්කෝඩියාව (ශ්‍රී ලාංකිකයින්ද 4 දෙනෙක් මේ නැවේ මගීන් ලෙස ගමන් ගන්නා ලදී) දූපතේ ගල්පරයක හැපුනි. එයින් සුවිසාල නැව ඇල වෙන්නට විය. මධ්‍යම රාත්‍රියද පසුවන තෙක් සිදුකළ ගලවාගැනීමේ මෙහෙයුම් වලට හෙලිකොප්ටර සහ යාත්‍රා දායක විය. නැවේ කැප්ටන් වරයා නාවුක නීති වලට පටහැනිව මගීන් සියල්ලෝම නැවෙන් නිදහස් වන්නට ප්‍රථම නැවෙන් පැනවිත් තිබුණි. කෙසේ වෙතත් පසුව ඔහුගේ තනතුරට නොගැලපෙන අක්‍රමවත් හැසිරීම නැව ගිලෙන්නට මෙන්ම ජීවිත හානිවීමට බලපෑ හෙයින් ඔහුට සිර දඬුවම් නියම විය. 4000ක සෙනගකට මර බිය දැනුන ඒ අවස්ථාවේ මරණ 32ක්ද වාර්තා විය.

 

නෝවීජියන් ඩෝන් 2005 අප්‍රේල් මසදී නිව්යෝක් වරායෙන් පිටත් වූයේ මුහුදේ සොඳුරු සතියක් ගත කර නැවත නිව්යෝක් වරායට සේන්දු වීමටය. එහෙත් එක්වරම පැමිණි චණ්ඩ මාරුතයක් මගීන් මෙන්ම කාර්යමණ්ඩලයද බියපත් කරන්නට සමත් විය. එහිදී නැවට වඩා අඩි 70ක් තරම් උසින් නැගුන රළගෙඩි මගින් නැව් තට්ටුවට මෙන්ම කැබින් කරාද ජලය එන්නට විය. දෙපසට සිදුවූ පැද්දීම් හේතුවෙන් විසිත්ත කාමර වල තිබුණ ගෘහ භාණ්ඩ සහ බඩු බාහිරාදිය නොයෙක් අත විසිර යන්නට විය. නැව හදිසි තත්ත්වය හේතුවෙන් වරායට සේන්දු වන විට එහි ජනෙල් වීදුරු ඇතුළු සුඛෝපභෝගී පහසුකම් රැසක් අනතුරට භාජනය වී තිබුණි. කුණාටුව නිසා නැව තුළ වූ කැබින් 62කට වතුර ඇතුළු වී තිබුණ නමුත් නැවේ කිසිවෙකුටත් බරපතළ ගණයේ තුවාල වාර්තා නොවීය.

 

මේ නැවේ ගිය 2600ක ජනකායෙන් 400 දෙනෙකුට පමණ හදිස්සියේ වෛරස රෝගයක් වැළඳුනි. පැතිරී ගිය එය වැළඳුන අයට වමනය ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිවන්නට විය. 2010 වර්ෂයේදී සිදු වූ මෙම සිද්ධිය නිසා නැව ගමන අතරමග නවතා ආසන්නතම වරායකට සේන්දු විය.

 

කානිවල් ට්‍රයම්ප් 2013 දී මැක්සිකෝව ආසන්නයේදී එන්ජින් කාමරයේ ගින්නකට හසු විය. එයින් අනතුරුව නෞකාවේ මළ අපවහන පද්ධතිය සහ විදුලිබල පද්ධතිය බිඳ වැටුණි. මගීන් 4200ක් රැගත් මෙම නෞකාවේ වැසිකිලි අකර්මණ්‍ය විය, ජල පෙරණ ක්‍රියා විරහිත වීමෙන් නැවේ ගිය අයට පානීය ජලය පවා හිඟ විය. ශීතාගාර වල තිබූ ටොන් ගණන් ආහාර විදුලිය නොමැති කමින් නරක් වන්නට විය. නැවම විශාලා මහ නුවරක් මෙන් දුර්ගන්ධයෙන් සහ විවිධ අපහසුතාවයන්ගෙන් ගහණ විය. ඉන් පසු හෙලිකොප්ටර මගින් මගීන්ට අවශ්‍ය ආහාර පාන සපයන ලදී. කෙසේ වෙතත් දැඩි අපහසුතා මධ්‍යයේ වරායකට යාත්‍රා කරන තෙක් නැවේ තට්ටුවට වී කූඩාරම් ගසාගෙන සිටීමට මගීන්ට මේ අකරතැබ්බය නිසා සිදුවිය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here