මිනිසාව පුදුමයට පත් කළ සොබාදහමේ අපූරු සංසිද්ධි – Saru News Media

0
9

ජීවත් වෙන්න හුස්ම ඩිංග දෙන මේ ආදරණීය පරිසරයට අපි හැමෝම ණයගැතී කියන එක ලොකු පුංචි කොයි කවුරුත් පිළිගන්න කාරණාවක්නෙ. මේ පරිසරය ගැන, පරිසරයේ ආරක්ෂාව ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙන කාලයක් නිසාම නෙමෙයි, කවදාටත් පරිසරය කියන්නෙ අම්මා තරම්ම ලෝභ නැතුව අපිට ආදරේ බෙදන, අපිව රැකබලාගන්න දෙයක්නෙ. ඒ ආදරේට අපි කොයිතරම් කළගුණ සලකනවද කියන කාරණේ හෙමීට හිතල බලන්න ඉතුරු කරගමු. මේ කියන්න යන්නෙනම් ඒ සුන්දර සොබාදහම අපිව මවිතයට පත්කරපු හරිම අපූරු අවස්ථා කීපයක් ගැනයි.

 

මේ අපූරු සිදුවීම දකින්න තියෙන්නෙ ඇමරිකාවේ Death Valley නැත්තම් මරණයේ නිම්නය කියන ජාතික උද්‍යානයේ සිඳීගිය වැව් පතුල් වලයි. කාගෙවත් බාහිර මැදිහත් වීමක් නැතුව කිලෝ ග්‍රෑම් 300 පවා බර ගල් මේ භුමිය දිගේ මීටර් 250ක් වගේ දුර ඇදීගෙන ගියපු සලකුණු දකින්න පුළුවන්. බැලූ බැල්මටනම් හරිම අද්භූතයි. මේ කතාවට පිටසක්වල ජීවින්, මිත්‍යා අදහස් පටලල ගොතපු කතන්දරත් බොහොමයි. නමුත් පසුව හොයාගෙන තියෙන විදිහට මේ සිඳුණු වැව් පතුල මත ශීත කාලෙට මිදෙන අයිස් තට්ටුව නිසා තමයි මේ ගල් මෙහෙම ඇවිදින්නෙ. අයිස් තට්ටුව ලිස්සන සුළු නිසා පුංචි හුළඟකින් උනත් ගල් ලිස්සල යන්න පුළුවන්.

 

නැමිබියාව කියන්නේ දකුණු අප්‍රිකාව ඇතුළත තියෙන රටක්. මේ ෆෙයරි සර්ක්ල්ස් කියන්නේ නැමිබියාවේ දකින්න තියෙන හරිම අපූරු ස්වභාවික සංසිද්ධියක්. නැමිබියාවේ ගස්කොළන් නැති මුඩු භූමියක පොලව මත ස්වාභාවිකවම සටහන් වුණු රවුම් තමයි මේ ෆෙයරි සර්ක්ල්ස් කියල හඳුන්වන්නෙ. මීටර් 2 ඉඳන් මීටර් 15 වගේ වෙනකං විශාල විශ්කම්භයෙන් යුතු රවුම් මේ විදිහට පොලව මත සටහන් වෙලා තියෙනවා දකින්න පුළුවන්.  මේකත් මුලින් මුලින් මිත්‍යා මත ගොඩකට තුඩු දුන්න සිදුවීමක්. එත් පස්සේ කාලෙකදී විද්වතුන් ප්‍රකාශ කරලා තියෙන්නෙනම් භූමියේ කලින් තිබුන ගස්කොළන් වලින් ඉතුරු වුණු විෂ, පොලවේ වැලි මත මේ රවුම් ඇඳෙන්න හේතු උනා කියල තමයි.

 

ලෝකේ දකින්න පුළුවන් ලස්සනම ස්වභාවික සිදුවීම් වලින් එකක් තමයි මේ දිලිසෙන වෙරළ. අපිට බොහෝම කිට්ටු මාලදිවයින් දුපත් වල තමයි මේ සිදුවීම දකින්න පුළුවන්. රාත්‍රී කාලයට සුරංගනා කතාවක ලස්සන මුහුදු වෙරළක් වගේ හිතාගන්න බැරි ලස්සන නිල්පාටකින් මේ මුළු වෙරළම දිලිසෙනවා. මේ දිලිසෙන වෙරළ මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරයටත් ලොකු පිටුවහලක්. වෙරළාසන්න මුහුදු ජලයේ අඩංගු ඇල්ගී වර්ගයක් නිසා තමයි මේ තරම් ලස්සනට මුතු එලල වගේ රාත්‍රී කාලයට මේ වෙරළ දිලිසෙන්නෙ.

 

මේ මුහුදු වෙරළ බාහිර ලෝකයෙන් තරමක් සැඟවිලා ගල් තලාවක සිදුරක් ඇතුළෙන් විතරක් පිටට පේන්න තියෙන ලස්සන වෙරළක්. ලස්සන මායා නවකතාවක වගේ සුදු වැලි පිරුණු, සැගවුණු මේ මුහුදු වෙරළ ආදරවන්තයින්ගේ වෙරළක් කියලත් හඳුන්වනවා. මුල් කාලෙදි මේ ගල් තලාව මත හැදිලා තියෙන සිදුර මිනිස් ක්‍රියාකාරකමක් වුණු බෝම්බ පිපිරීමක් නිසා උනා කියල හිතාගෙන හිටියත් පහුකාලීනව හොයාගෙන තියෙන විදිහට මේක ගිනිකන්දක් පිපිරිම නිසා සැඟවිලා තිබුන වෙරළක් බාහිරට නිරාවරණය වුණු හරිම ස්වභාවික අවස්ථාවක්.

 

මේ අපූරු විල පිහිටලා තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ. අපි දන්න කියන සාමාන්‍ය ඇල, දොළ, විල්, ගංගා ඕන එකක වතුර නිල් හෝ දුඹුරු පාටින් පෙනුනට මේ විල නම් හරියට පාට කරපු වතුර වගේ රෝස පාටයි. හැබැයි වර්ණය වෙනස් උනාට මේ ජලජ ජීවින් පවා පේන්න ඉන්න ස්වභාවික ජලයම තමයි. ජලයේ අඩංගු ලවණ සංයුතිය නිසා තමයි මේ විලේ ජලය ස්වාභාවිකවම වෙනත් වර්ණයකට හැරිලා තියෙන බව කියන්නෙ. උණුසුම හුඟක්ම වැඩි කාල වලදී අධික හිරු එළියත්, අඩු වර්ෂාපතනයත් නිසා විල් පතුලේ සිදුවන ක්‍රියාවලියක් නිසා වසරේ උණුසුම වැඩි කාලවලදි මේ රෝස පැහැය වැඩිපුරම දකින්න තියෙන බව තමයි කියන්නේ.

 

මේකත් පියවි ඇසට දකින්න පුළුවන් හරිම ලස්සන සිදුවීමක්. ඇල්බර්ටා කියන්නේ බටහිර කැනඩාවට අයත් ප්‍රාන්තයක්. මේ ප්‍රදේශයේ පිහිටලා තියන ඒබ්‍රහම් විලේ දකින්න පුළුවන් මේ මිදුණු අයිස් තට්ටුවට යටින් මතුවුණ ලස්සන හිම බුබුළු. අයිස් තට්ටුව යට රැඳුණු මීතේන් වායුව මේ විදිහට බුබුළු වගේ මතුපිට දක්වාම ඇවිත් රැඳිල තියෙන බව තමයි කියන්නෙ. බාහිර පෙනුමටනම් හරිම ලස්සන උනාට වැඩිය ලඟට ගිහින් සෙල්ලම් දාන්නනම් මේ තැන සුදුසු නැහැ. මොකද මේ මීතේන් කියන්නෙ වහා ගිනි ඇවිලෙන සුළු වායුවක් නිසා. කොහොම උනත් මේකත් සොබාදහම විසින් ඇඳපු ලස්සන චිත්‍රයක් වගේ සුන්දර සිදුවීමක්.

 

කාන්තාරයක් කියන්නේ අපි දන්න තරමින් ගහක්, වැලක්, තෙතක් නැති මුඩු භූමියක්. ඒත් මේ කාන්තාරවලත් කාලෙකට මල් පිපෙනව කිව්වොත්? පුදුමාකාරයි නේද? වසරේ හැම වසන්ත කාලෙකට මැදභාගය ආරම්භ වෙනකොටම හුඟක් වියළි කාන්තාර වල සිද්ධවෙන අපූරු සිදුවීමක් තමයි මේක. කාන්තාරයක්ද කියල හිතාගන්නවත් බැරි විදිහට මේ කාලෙට මේ භුමිය ලස්සන ලස්සන මලින් හැඩවෙනව. මේ කාලසීමාවේදී අසාමාන්‍ය ලෙස ඉහළ යන වර්ෂාපතනය තමයි මේකට හේතුවෙනවා කියන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here