මුලින්ම ලෝකෙ වටේ යන්න ගත්ත දේශගවේෂකයෝ – Saru News Media

0
10

ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය වගේ රටවල් මේ කොරෝනා වෛරස තත්ත්වයෙන් හොඳටම බැට කෑවා. එදා මේ යුරෝපා රටවල දේශ ගවේෂකයින් ලෝකයම එකට එක් කරන්නට හේතු වුනා. ඊට පෙර කාලයක අපේ රටවල් ඉන්දියාව සහ චීනය යා කරපු වෙළඳ මාර්ග වලින් රට රටවල සංචාරය කරන්න හියුං සාන්, ෆාහියන් ආදී භික්ෂුන් ක්‍රියා කළා. ඉතින් මේ දේශ ගවේෂක සංචාරකයින් නිසා ලෝකයේ ගනුදෙනු වැඩිවීමත් එක්ක නූතන ලෝකය අද තියෙන තත්ත්වයට පත් වුනා. ඒත් කොරෝනා වගේ අහිතකර තත්ත්වයන් අද වේගෙන් පැතිරෙන්නත් මේ සොයාගත් නව වෙළඳ ජාලා හේතු වෙලා තියෙනවා. ඉතින් එදා දේශයකින් දේශයකට යන්න සෑහෙන අමාරු කාලේ ඒ දේශ දේශාන්තර සොයාගෙන ගිය වීර චරිත කිහිපයක් ගැන විස්තර ටිකක් අපි දැනගමු.

 

හියුං සාන් භික්ෂුව චීනයේ සිට කයිබර් දුර්ගය, හිමාලය තරණය කොට ඉන්දියාවට පැමිණ බුදුදහම ඉගෙන නැවත චීනයට ගියා. ඒ ක්‍රිස්තු වර්ෂ 600 තරම් ඈත කාලයේදී. බෞද්ධ භික්ෂුවක වූ හියුං සාන් ලංකාවට පැමිණියේ නැතත් දකුණු ඉන්දියාවට ආවා. එහිදී ලංකාව ගැන විස්තර ආදිය දැනගෙන ඒවාද ඔහුගේ වාර්තා වල පළකොට තියෙනවා. එකල ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන ගැන මෙන්ම සමාජය ගැනද විශාල තොරතුරු රැසක් හියුං සාන්ගේ දේශාටන වාර්තා වල සඳහන් වෙනවා. අද කාලේ පවා පාකිස්ථානයේ කරකොරම් මහා මාර්ගය හරහා පැමිණ චීනයෙන් ඉන්දියාවට පැමිණීම අමාරු වැඩක්. එකල ඒ මහත් දුෂ්කර වූ මාර්ග ගෙවා ඉන්දියාවට පැමිණ, ඉන්දියාව අධ්‍යයනය කොට නැවත චීනයට ගොස් සිය වාර්තාවෙන් තොරතුරු ඉදිරිපත් කළ හියුං සාන් භික්ෂුව මහ පුදුම චරිතයක්.

 

ෆාහියන් හිමි ද චීනයේ සිට පෙරදිග ගවේෂණයට පැමිණි අභීත භික්ෂුන් වහන්සේ නමකි. ක්‍රි.ව 399 දී ගමන ආරම්භ කළ ෆාහියන් හිමි ගේ සංචාරයට 10 දෙනෙකුගේ කණ්ඩායමක් එකතුවුනා. මධ්‍යම ආසියාවේ ගෝබි කාන්තාරය හරහා වූ අති දුෂ්කර මාර්ගයක් ෆාහියන් භික්ෂුව සිය ගමන සඳහා යොදාගත්තා. ඒ රළු මග ඔස්සේ පයින්ම මාස ගණනාවක් පැමිණ උන් වහන්සේ දැනට පාකිස්ථානයට අයිති ගන්ධාර දේශයට පැමිණියා. එවකට ගන්ධාර දේශය බුදුදහම හොඳින් පැවති පළාතක් වුණා. ෆාහියන් භික්ෂුව ලංකාවේ මහානාම රජුගේ පාලන සමයේ ලංකාවටද පැමිණ අභයගිරි විහාරය දැකබලාගෙන, වැඳ පුදාගෙන ගොස් තියෙනවා. ෆාහියන් හිමිගේ දේශාටන විස්තර වල ලංකාවේ වෙහෙර විහාර ආරාම ගැනද වග විස්තර ඇතුළත් වෙනවා. 

 

ඉබන් බතුතා සිය ගමන ආරම්භ කළේ 1304 දීයි. එවකට ලෝකයේ සොයාගෙන නොතිබුණ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව හැර අනෙක් සෑම තැනකටම පාහේ ඉබන් බතුතා සිය ගමන් ගියා. ඔහු අවුරුදු තිස් පහක් ආසියානු සහ අප්‍රිකානු බිම් හරහා ගමන් කළා. බතුතා ලංකාවටද ඇවිත් තිබෙනවා. ඒ සමයේ ආර්යචක්‍රවර්ති සහ පාලකයින් කිහිප දෙනෙක් විසින් පාලනය කළ ලංකාව ගැන විස්තර ඉබන් බතුතාගේ විස්තර වල සඳහන් වෙනවා. මලබාර් දේශයේ සිට නැව් නැගී එන විට හැමෝම හොඳින් හඳුනන ලංකා දේශයට ගොඩබට බව ඉබන් බතුතා සිය විස්තරයේ සඳහන් කර තිබෙනවා. ඉබන් බතුතා ඉස්ලාම් භක්තිකයෙකු වූ අතර ඔහු ගිය ගිය දේශයන්හිදී කාන්තාවන් සරණ පාවාගත් බවද චාරිකා විස්තර වල සඳහන් වෙනවා.

 

පෘතුගීසි ජාතිකයෙක් වූ වස්කෝ ද ගාමා, අප්‍රිකාව වටා යාත්‍රා කොට ඉන්දියාවට පැමිණීමට හැකි බව සොයාගත්තා. එවකට ගොඩබිමෙන් පෙරදිග වෙළඳාම මුස්ලිම්වරුන්ට යටත් වී තිබුණා. ඉන්දියානු කුළුබඩු සහ වටිනා දෑ යුරෝපීයයන්ට මිලදී ගන්නට සිදු වුණේ මුස්ලිම්වරුන් හරහායි. එබැවින් වස්කෝ ද ගාමා සහ පිරිසගේ අලුත් මුහුදු මාර්ගය යුරෝපීය වෙළඳාමට වැදගත් පියවරක් වුණා. මේ ගමන ලෙහෙසි පහසු එකක් නොවෙයි. දැනට වඩා මාස කිහිපයක් ගත වෙන මේ වස්කෝද ගාමා ගේ ගමනේදී ඔහු ඉන්දියාවට පැමිණ නාවික සැතපුම් 27,000කට වැඩි දුරක් සම්පූර්ණ කොට නැවත පෘතුගාලයට ළඟා වන්නට සමත් වුණා. ඇත්තෙන්ම වස්කෝ ද ගාමා ගොස් ඇති දුර බොහෝ වැඩියි. එහෙත් ඒ සඳහා පැහැදිලි හේතුව තවමත් අභිරහසක්. කෙසේ වෙතත් වස්කෝ ද ගාමාගේ ඉන්දියානු ගමන ලංකාව ඉන්දියාව, ජාවා රට ඇතුළු ආසියානු පළාත් පසුකලෙක යුරෝපීය යටත් විජිත බවට පත් වීමට පාර කැපුවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here