බුදුහාමුදුරුවෝ ඉපදුණේ අපේ ලංකාවෙද? – Saru News Media

0
10

දැන් වසර කීපයකම ඉඳන් එක්තරා කණ්ඩායමක් විසින් බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා මතයක් ප්‍රචාරය කරමින් යනවා. ඊට අමතරව ඔවුන් විසින් ධර්මය විකෘති කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් ඉන්නවා කියන දේ අපිට පේනවා. මේ නිසා අපි අද හිතුවා ඔවුන් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියන මතයට දක්වන සාක්කි කොයි තරම් විහිළුවක් ද කියන දේ ගැන ඔබව දැනුවත් කරමින් කෙටි ලිපියක් ලියන්න

 

අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ තුළ වැඩ විසූ කෙනෙක් නොවන බවට තර්ක කරන පිරිස් ගෙන එන එක තර්කයක් වන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් වන කිසිදු මූලාශ්‍රයක් ඉන්දියාව තුළ නෑ කියන කාරණය. ඔවුන්ට අනුව එවැනි සියලුම මූලාශ්‍ර හමුවන්නේ ඉන්දියාව ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසුවයි. නමුත් මේ පිරිස් ඉන්දියාවේ විවිධ භාෂාවලින් ලියැවී ඇති ථේරවාද සහ මහායාන ග්‍රන්ථ පිළිබඳව කිසිදු දැනුමක් නොමැති පිරිස් බව පැහැදිලියි. ලලිත විස්තරය, බුද්ධ චරිත කාව්‍යය, සෞන්දරානන්දය, අවදාන කල්ප ලතාව ආදී බුද්ධ චරිතය පිළිබඳව පමණක් නොව ශ්‍රාවක චරිත පිළිබඳව පවා ග්‍රන්ථ ගණනාවක් අතීතයේ පටන් ඉන්දීය පඬිවරු විසින් රචනා කර තිබෙනවා.

 

ඉහත අප සඳහන් කළ සංකල්පය ප්‍රවර්ධනය කරන එක්තරා චීවරධාරියෙකු විසින් මහා මායා දේවිය සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙන් දින හතකට පසුව පිරිමියෙක් බවට පත් වූ බවත් එම නිසා සංඛපාල ප්‍රදේශයේ ගල් ගුහාවක සුද්ධෝදන රජතුමා විසින් එතුමියව සැඟවූ බවටත් අපහාසාත්මක හිතලුවක් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු ගේ මේ ප්‍රකාශය ත්‍රිපිටක කරුණු සම්පූර්ණයෙන්ම විකෘති කිරීමක් බව ත්‍රිපිටකය පරිශීලනය කිරීමෙන් පැහැදිලි වෙනවා. එපමණක් නොව ඉන්දියාවේ ලියවුණු බුද්ධ චරිත ග්‍රන්ථවල පවා මහා මායා දේවිය මියගොස් මාතෘ දිව්‍ය රාජයා ලෙස ඉපදුන බව පැහැදිලි ව සඳහන් වෙනවා.

 

මේ කල්ලිය සඳහන් කරන ආකාරයට ශාක්‍ය, කෝලිය, මගධ ආදී රාජ්‍යයන් ලංකාවේ පිහිටා තිබුණේ නම් අපේ ඉතිහාසයේ සඳහන් වන යක්ෂ, දේව ආදී ගෝත්‍ර වාසය කළේ කුමන ප්‍රදේශයක ද යන්න පිළිබඳව ගැටලුවක් ඇතිවෙනවා. වඩාත්ම භයානක තත්ත්වය වන්නේ ත්‍රිපිටකය තුළ ශාක්‍ය කෝලීය වශයෙන් විවිධ ජාතීන් වලට අයත් පිරිස් සඳහන් වන නිසා මෙම විකෘති ඉතිහාසය මගින් සිංහලයාට මේ බිමෙහි අයිතියක් නොමැති බවට වන මතයක් සමාජ ගත වීමයි.

 

මෙම විකෘති මතය සමාජ ගත කිරීමට තැත් කරන කල්ලියේ තවත් මිත්‍යා මතයක් වන්නේ බුද්ධගයා විහාරයේ හැඩය හින්දු කෝවිලකට සමාන වන නිසා බෞද්ධයන් බුද්ධගයා විහාරය යැයි සිතා හින්දු කෝවිලකට වන්දනාමාන කරන බවයි. ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතිහාසය පිළිබඳව කිසිවක් නොදන්නා පුද්ගලයන් සේ නන් දෙඩවීම් කරන මොවුන් තායිලන්තය වැනි රටවල් වල පවා බුද්ධගයා විහාරයෙහි අනුරූ ගොඩනගා පුද පූජා කරන බව දන්නේ නැහැ. ඊටත් වඩා වර්තමාන බුද්ධ ගයා විහාරය වටා ලෝකයේ සියලු ම බෞද්ධ රටවල් විහාර ආරාම ගොඩනඟා ඇත්තේ මේ මුලාවට ලක්වී දැ යි විමසීම බුද්ධිමත් පාඨක ඔබට ම අපි බාර කරනවා.

 

මොවුන්ට අනුව වර්තමානයේ රජගල ලෙස හැඳින්වෙන පූජා භූමිය අතීතයේ දී රජගහ නුවර වෙළුවනාරාමයලු. බොහෝ දෙනෙක් දන්නා පරිදි රජගල විහාරයේ මිහිඳු මා හිමියන්ගේ සහ ඉට්ඨිය මහ රහතන්වහන්සේගේ ධාතු තැන්පත් කර ඇති සෑයත් පිහිටා තිබෙනවා. ඒ අසල ඇති සෙල් ලිපියේ  මේ දිවයිනට වැඩම කළ ඉට්ඨිය සහ මහින්ද තෙරවරුන් යන වැකිය පැහැදිලිවම සඳහන් වෙනවා. මෙහිදී අපි මතක තබා ගත යුතු කරුණ වන්නේ අශෝක රජතුමා රජකම් කළේද මගධයේ වන බවයි. එසේ නම් මිහිඳු මාහිමියන් මේ දිවයිනට වැඩම කළා යැයි විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඇයි?

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here