ලංකාවේ අපි ථේරවාද යැයි රැවටෙ​න මහායාන අදහස් – Saru News Media

0
10

අපි පහුගිය දවසක මහායාන බෝධිසත්වවරු ගැන ආටිකල් එකක් ඔබට ගෙන ආවා. ඒ ආටිකල් එකේ අග අන්තිමට අපි සඳහන් කිරීමක් කරා, ඔබෙන් ඒ ආටිකල් එකට ලැබෙන ප්‍රතිචාර මත මහායාන බුද්ධාගම පිළිබඳව තවත් ලිපි කිහිපයක් අපි ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ හින්දා අපි හිතුවා, ලංකාවට බලපාපු මහායාන අදහස් කිහිපයක් ගැන කතා කරන්න. මේ වෙනකොට මේ අදහස් අපේ ථෙරවාදී බුද්ධාගමේ අදහස්මයි කියන තරමටම අපේ රටේ පැ​ළපදියම් වෙලා ඉවරයි

 

අපි දහම් පාසල් යන කාලේ ඉ​ඳන් ඉගෙනගන්න දෙයක් තමයි සිද්ධාර්ථ කුමාරයා කුඩා කාලයේදී ශිල්පශාස්ත්‍ර ඉගෙන ගන්න සර්වමිත්‍ර කියලා බමුණෙක් ගාවට ගියා කියන එක. හැබැයි ඔයාලට ත්‍රිපිටකය සහ අටුවා පරිශීලනය ක​ළොත් සර්වමිත්‍ර බමුණා ගැන නම් හොයාගන්න බැරි වෙයි. දැන් ඔයාලට ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙයි එහෙම නම් සිද්ධාර්ථ කුමාරයා සර්වමිත්‍ර බමුණාගෙන් ඉගෙන ගත්තාය කියන කතාව අපේ රටේ ජනප්‍රිය වුණේ කොහොමද කියලා. ඒක වෙන්නේ බළංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බුද්ධ චරිතය පොත රචනා කිරීමත් එක්ක. උන්වහන්සේ ​ථෙරවාදී බුද්ධාගම ගැන වගේම මහායාන බුද්ධාගම ගැනත් ගැඹුරින් හදාරපු කෙනෙක්. උන්වහන්සේ මහායාන ග්‍රන්ථ වල සඳහන් වූ සර්වමිත්‍ර බමුණු පඬිතුමා පිළිබඳ ප්‍රවෘත්තිය බුද්ධ චරිතය පොතට අතුලත් කරා. ඒ හරහා අපේ රටේ සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයා විදිහට සර්වමිත්‍ර නම ප්‍රසිද්ධියට පත් වුණා.

 

මහායාන බුද්ධාගම තුළ බෝධිසත්වවරුන්ට වැදගත් තැනක් ලැබෙනවා. මේ නිසා අපේ රජවරුන් මතු බුදු වන බෝධිසත්වවරු විදිහට පෙනී ඉන්න කැමැත්තක් දැක්වූවා. “පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස” වගේ ව්‍යවහාර ඇතිවෙන්නේ මේ නිසා. ඒ වගේම සමහර රජවරු “බෝසත් විජයබා, බෝසත් පැරකුම්බා” වගේ නම් භාවිතා කරන්න පෙළඹුණා. සිරිසඟබෝ රජතුමා වගේ රජවරු බෝධිසත්වයෝ විදිහටම ජනතාවත් සලකන්න ගත්තා. ජේතවනාරාම පුවරු ලිපිය කියන විදිහට ලංකාවේ රජ කරන්න පුළුවනුත් බෝධිසත්වවරයෙක්ටම විතරයි.

 

මරණයක් සිදු වුණාම බොහෝ වෙලාවට හත් දව​සේ දානයක් වගේ තියෙද්දි ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රය ගැන සඳහන් කරනවා. මේ සූත්‍රය මුල්කාලීන දේශනාවලට ඇතුළත් සූත්‍රයක් නෙමෙයි. තිරෝකුඩ්ඩ සූත්‍රය සැකසෙන්නෙ මහායාන බලපෑම් නිසා. ඒ වගේම මේ සූත්‍රය තුළ තාන්ත්‍රික බලපෑම වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා කියලා විද්වතුන් අදහස් පළ කරලා තියෙනවා. ඒවගේම ලංකාවේ බෞද්ධයන් අතර ජනප්‍රිය ගිනි පිරිතේ භාෂා විලාශය ගත්තත් පාලි භාෂාවට සමාන කමක් නැති නිසා මෙයත් මහායානිකයන්ගෙන් ගත්ත ආරක්ෂක මන්ත්‍රයක් කියන මතයට බොහෝ විද්වතුන් එකග වෙනවා.

 

අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනා හිතන්නේ නාථ දෙවියන් සහ මෛත්‍රී බෝධිසත්වයන් කියන්නේ එකම දෙවි කෙනෙක් කියලා. නමුත් ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පේරාදෙණිය ලිපිය, ගඩලාදෙණිය ලිපිය වගේ සෙල්ලිපි වල පැහැදිලිව මේ දෙවිවරු දෙදෙනෙක් කියන එක සඳහන් කරලා තියෙනවා. නාථ දෙවියෝ විදිහට ලංකාවේ වන්දනාමානයට පත්වෙන්නේ මහායානිකයන්ගේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ව. ජයවර්ධනපුර යුගයේදී තොටගමුවේ රාහුල හාමුදුරුවෝ වැඩ වාසය කරපු තොටගමුවේ විජයබා පිරිවෙන නාථ දෙවියන් වන්දනාමාන කරන ප්‍රධාන සිද්ධස්ථානයක් බවට පත් වෙලා තිබ්බා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here