අපේ රජවරු ගැන වැඩි දෙනෙක් නොදත් කතා – Saru News Media

0
5

ජාතියක් විදිහට අපි අපේ ඉතිහාසය ගැන දන්නවද කියන එක ප්‍රශ්නයක්. සාහිත්‍යය සහ ඉතිහාසය විෂය මාලාවෙන් ඉවත් කරන්න මූලිකත්වය ලබා දුන්නු  ජනාධිපතිවරයෙක් හිටපු රටක එහෙම වුණු එක පුදුමයකුත් නෙවෙයි. ඒ නිසා lifie අපි විටින් විට ලංකාවේ ඉතිහාසය සම්බන්ධ ආටිකල් ඔබ වෙතට ගෙන එනවා. මේ ආටිකල් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ රජවරු කීප දෙනෙක් ගැන ඔබ නොදත් කතා කීපයක්.

 

යසලාලකතිස්ස රජුගේ සහ සුබ නම් දොරටුපාලයාගේ කතාව ගැන අපි හැමෝම දන්නවා. සයිමන් නවගත්තේගම මහත්මයාගේ ‘සුභ සහ යස’ වේදිකා නාට්‍යයත් මේ කතාව හැමෝම දැනගන්න එක හේතුවක් වුණා. සුබ දොරටුපාලයාගෙන් පස්සේ  ලංකාවේ රජ බවට පත් වෙන්නේ වසභ රජතුමා. තමන්ගෙන් පස්සේ වසභ නම් පුද්ගලයෙක් රජ වෙනවයි කියලා දැනගන්න සුබ, වසභ නම් තියෙන  සියලු දෙනා මරණයට පත් කරන්න කියලා නියෝගයක් දෙනවා. මේ කාලයේ දී වසභ කුමාරයා තමන්ගේ මාමගේ ගෙදර නැවතිලා ඉන්නවා. වසභව අල්ලලා දීලා තාන්න මාන්න ලබා ගන්න හිතාගෙන ඔහුගේ මාමා වසභව රජමාළිගාවට එක්කගෙන යනවා. වසභ කුමාරයා​ට අත්වෙන්න යන ඉරණම ගැන කම්පාවෙන ඔහුගේ නැන්දනිය හුණු නැති බුලත්විටක් තමන්ගේ ස්වාමියාට දෙනවා. අතරමගදී බුලත්විටට හුණු නෑ කියලා දැනගන්න මාමා, වසභව හුණු ගේන්න කියලා නැවතත් ගෙදරට යවනවා. ඒ වෙලාවෙදි නැන්දා ඇත්ත කතාව වසභට කියනවා. පලා යන වසභ කැරළිකාරයෙක් බවට පත්වෙලා අවසානයේදී සුභ රජ්ජුරුවන්ව මරාදාලා අනුරාධපුරේ රජ වෙනවා. කළගුණ සලකන්න ඔහු තමන්ගේ ජීවිතය බේරගත්ත නැන්දණියව තමන්ගේ බිසව කර ගන්නවා.

 

බොහෝ දෙනෙක් හිතන්නේ එළාර පරාජය කළාට පස්සේ දුටුගැමුණු රජතුමාට මුහුණ දෙන්න වුණ යුද්දෙ ඉවර වුණා කියලා. නමුත් එළාරගේ බෑනා වෙලා හිටිය භල්ලුක නැමැති පුද්ගලයෙක් සේනාවක් අරගෙන මාතොටින් ගොඩ බැහැලා අනුරාධපුරය ආක්‍රමණය කරන්න එනවා. මේ අවස්ථාවේදී ඵුස්සදේව යෝධයා සමග ඔහුව පරාජය කරන්න දුටුගැමුණු රජතුමා සටනට පිවිසෙනවා. රජතුමාට පිටිපස්සේ ඉන්න ඵුස්සදේව යෝධයා රජතුමාට මුවා වෙලා භල්ලුකට ඊයක් විදලා ඔහුව මරණයට පත් කරනවා. ඊය විදින වෙලාවෙදි රජතුමාගේ කුණ්ඩලාභරණය කඩතොළු වුණා කියලා දකින ඵුස්සදේව යෝධයා ඒකට කම්පා වෙලා තමන්ගේ කන්වල කුණ්ඩලාභරණ ඇදලා කන් වලින් ලේ අරගෙන පෙන්නනවා. මේක දකින දුටු ගැමුණු රජතුමා ඵුස්සදේවගේ කන්වලට බෙහෙත් කරන ගමන් යවපු ඊයේ උසට කහවුණු රැස් කරලා ඵුස්සදේවට ත්‍යාගයක් විදිහට ලබා දෙනවා.

 

අනුරාධපුරයේ රජ කරපු ඉලනාග රජුගේ කාලයේ දී ලම්භකරණ වංශිකයන්ගේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. ඔවුන් රජතුමාව රජමැදුරෙම සිරකාරයෙක් බවට පත් කරනවා.

මේ අවස්ථාවේ දී රජතුමාගේ බිසව ඔවුන්ගේ වැඩිමහල් පුතා වුණු “චන්ද්‍රාමුඛසිව” බිළිඳු කුමාරයාව මඟුල් ඇතා ඉදිරියේ තියලා රජුගේ සතුරන් අතින් කුමාරයා මරණයට පත් වීමට වඩා මඟුල් ඇතු අතින් මරණයට පත් වීම හොඳයි කියලා කියනවා. මේක අහන මඟුල් ඇතා තමන් බැඳල තියෙන යදම් කඩා ​ගෙන කුමාරයවත් බිසවවත් තමන්ගේ පිට මත තබා ගෙන ගිහින් රජ මාළිගාවේ රජ්ජුරුවන්ව හිර කරලා තියෙන කුටිය කඩලා ඔහුවත් අරගෙන මාතොටට යනවා. මේ විදිහට ජීවිතය බේරගන්න රජතුමා නැවතත් ලම්භකරණ වංශිකයන් පරාජයට පත් කරලා ලංකාවේ රජ බවට පත් වෙනවා.

 

මහා දාඨික මහානාග රජ්ජුරුවන්ගෙන් පස්සේ ලංකාවේ රජවෙන්නේ එතුමාගේ පුත්‍රයා වුණු ගාමිණි අභය රජතුමා. ඉතාමත් සැදැහැවත් පුද්ගලයෙකු වුණු එතුමා රටපුරා සතුන් මැරීම වැළැක්වීමේ මාඝාත ආඥාව පනවනවා. මෙතුමා වරක් රත් පැහැති පැණි කොමඩු පාත්‍රවලට පුරවලා භික්ෂු සංඝයා වෙනුවෙන් පූජා කරනවා. මේ නිසා රජතුමාගේ ගාමිණි අභය කියන නමට ඉදිරියෙන් ආමාණ්ඩ ඒ කියන්නේ පැණි කොමඩු කෑල්ලත් එකතු කරලා ‘ආමණ්ඩගාමිණි’ කියන නමින් ජනතාව රජතුමාව හඳුන්වන්න ගන්නවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here