ලංකාවේ අපි විභාගයකට සූදානම් වෙන්න ඕනි කොහොමද? – Saru News Media

0
7

විභාගවලට සූදානම් වෙන හැටි ගැන අම්බානෙකට දේවල් දැනටමත් ඔයාලා දන්නවා. ඒක ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණේ දවසේ ඉඳන් කියලා දෙන දෙයක්. හැබැයි ඒක හෙන පොදු සිද්ධියක්. ඒ කිව්වේ අර එදාට දෙන ඒවා එදා බලාගන්නවා වගේ කල් ඉකුත් වුණ උපදෙස්. ඔය හැමෝම ලියන විභාග වගේ නෙවේ ලංකාවේ අය ලියන විභාග. අනික පරිසර තත්ත්ව, සමාජයීය මට්ටම වුණත් වෙනස්නේ. ඉතින් බලමු ලංකාවේ ඉඳන් විභාගයකට සූදානම් වෙන්න ඕනි කොහොමද කියලා.

 

අම්මලා පරිප්පු හොදි රොස් කරගෙන බලන්න තියාගත්තම දුවලා පුතාලාත් පාඩම් වැඩ බල්ලට දාලා දවසේ වටිනාම පැය කීපයක් නිකරුණේ නාස්ති කරගන්නවා. බඩවැල් වගේ ඇදෙන නිසා කෙළවරකුත් නෑ. දවසේ පාඩම් කරන්න හොඳ වෙලාවක් වෙන 7-9ත් අතර කාලයේ මෙගා ටෙලි බලන්න පටන් ගත්තම මොකෝ වෙන්නේ? ඕවා ඉවර වෙලා නිදිමතක් එනවා. ඒකත් එක්ක පාඩම් කරන්න බැරි නිසා ඇලට් එකක් දානවා. ඇලට් එක අජපල් වෙලා අනික් පහුවෙනිදා තමයි නැගිටින්නේ. මේක හැමදාම වුණාම කවදාවත් හරියකට පාඩම් කරන්න වෙන්නේ නැහැ. ඉතින් විභාගෙකට සූදානම් වෙනවා නම් මේවාට තිත තියන්නම වෙනවා.

 

කම්මැලිකමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් දැන් මාර්කැට්ටුවේ ෂෝට් නෝට් පොත් තියනවා. තියනවා වගේම උණු කැවුම් වගේ අලෙවි වෙනවා. මේ පොතකින් ඔයාගේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම කවර් වෙනවා කියලා හිතෙනවා නම් විතරක් ඉතින් ගන්න. ඒත් ඇත්තටම එහෙම හිතන්න අමාරුයි. මහා සාගරය වගේ විෂය නිර්දේශයකින් අඩුම තරමේ පරාක්‍රම සමුද්‍රේ තරම්වත් ෂෝට් නෝට් එකක් ඕනි. ඒත් කඩේ තියෙන්නේ කානුවක ගලන් යන වතුර පාර තරම් පොඩි කාරණා. මේ හැම දේටම වඩා හොඳයි තමන්ම ෂෝට් නෝට් ගහගන්න එක.

 

ලංකාවේ අයියලාගේ හැටි දන්න නිසා කියන්නේ. පාඩම් කරන්න කියලා යාළුවන්ගේ ගෙවල් ගාණේ ගියාට ඇත්තටම පාඩමක් වෙනවාය කියලා හිතන්න අමාරුයි. ඒත් දැන් පුස්තකාලවල පාඩම් කරන්න හදලා තියන කියවීම් ශාලාවල ජවුසම් නටන්න හම්බ වෙන්නේ නැහැ. පාඩම් නම් පාඩම්. සද්ද කරන්න බෑ අනික් අයට මල වදයක් වෙන නිසා. ඉතින් හොඳ පුතාලා වගේ පොතක් පතක් බලාගන්නයි වෙන්නේ. වෙන විකල්පයක් ඉතිරි වෙන්නේ නෑ. ඉතින් පාඩම් කරන්න ලකලෑස්ති වෙනවා නම් මේ වගේ තැනක ඉඳන් පාඩම් කරන්න.

 

නිදි මරාගෙන, කකුල් බේසම්වල ඔබාගෙන අසහනේකින් පාඩම් කරන්න ගියාම පාඩම් කරන දේවල් ඔළුවට යන්නේ නෑ. මතකයට නින්ද අත්‍යාවශ්‍යයි. පාඩම් කරන්න හොඳ බ්‍රහ්ම වෙලාවක් උදේ පාන්දර තියෙනවා කියලා කියනවනේ. ඒ වෙලාව සමහරුන්ට නැගලා යනවා තමයි. ඒත් සමහර අයට හොඳටම නින්ද යන්නෙත් ඒ වෙලාවට. ඒ නිසා කවුරුවත් කියන දේවලට ඇහුම්කන් නොදී පාඩම් කරන වෙලාව සම්බන්ධයෙන් ඔයාට ගැලපෙන සුවපහසු වෙලාවක් තෝරගන්න.

 

විභාගවලට නෙවේ කොයි දේටත් ඝෝෂාකාරී පරිසරයක් තියෙනකොට අමාරුයි. අසල්වැසියෝ කොයිවෙලෙත් මල් සින්දු අහන බිස්කට් කුඩු හාදයෝ නම් පොඩ්ඩක් ඒ මිනිස්සුත් එක්ක කතා කරලා පාඩම් කරන වටපිටාව මනුස්ස වාසයට සුදුසු තැනක් කරගන්න. නැත්තම් පාඩම් වැඩේට හිත යොදවගන්න අමාරු වෙනවා.

 

දැන් ප්‍රසිද්ධ මතයක් තමයි ඉස්කෝලවල හරියට උගන්නන්නේ නෑ කියන එක. ඒ නිසා ඉස්කෝල වෙලාවෙත් ටියුෂන්වලට ළමයි දක්කන්න දෙමව්පියනුත් පුරුදු වෙලා ඉන්නවා. කවුද දන්නේ සමහර වෙලාවට ටියුෂන් ඒවා විතරක් බදාගත්තු ළමයට යනඑනමං නැති වෙයිද කියලා. ඉස්කෝලේ උගන්වන දේයි ටියුෂන් එකේ උගන්වන දේයි දෙකෙන්ම සමබරව වැඩ ගන්නවා නම් විභාග නතින්ග්.

 

දැන් මේ ආටිකල් එක කියවන්නේ ෆෝන් එකෙන් නම් කියවලා ඉවර වුණ ගමන් සෙනික මේක පැත්තකට දාන්න. විභාග ජයගන්න ඕනි කෙනෙක් නම් එහෙම කෙනෙක් ළඟ තියෙන්න ඕනිම නැති දෙයක් තමයි ෆෝන් එක. ඒ විතරක් නෙවේ ටැබ්, ලැප්ටොප් එහෙමත් මහා හිසරද. දියුණු රටවල නම් මේවා අධ්‍යාපන කාර්‍යයට යොදාගන්න ළමයි ඉන්නවා. ඒත් විශ්වවිද්‍යාල ප්‍රජාව හැරුණුකොට ඉස්කෝලේ යන වයසේ අය මේවායෙන් අධ්‍යාපනය සම්බන්ධ දැනුමක් ලබාගන්නවා බොහොම අඩුයි. එයාලා යොමුවෙන්නේ ගොඩක් වෙලාවට වෙන වෙන දැනුම් ලබාගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here