ලංකාවේ ඇතිවුණු ශාස්ත්‍රීය වාද – Saru News Media

0
12

අද Lifie අපි කතා කරන්න යන්නේ මෙච්චර කල් අපි කතා නොකරපු අලුත්ම මාතෘකාවක් ගැන. ඒ තමයි ලංකාවේ ඇතිවුණු ශාස්ත්‍රීය වාද විවාද ගැන. සමහර ශාස්ත්‍රිය වාද විවාද ගැන සයිබරය හරහා පළමු වරට මේ ලිපිය හරහා ඔබට කියවන්න  ලැබෙයි කියලා අපි හිතනවා. මේ ආටි​කල් එකට ලැබෙන ප්‍රතිචාර මත අපි මේ වාද විවාද ගැන ඉදිරියේදී වඩා විස්තරාත්මකව ලිපි පෙළක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අපි මේ ශාස්ත්‍රීය වාද විවාද වලට ලංකාවෙ ඇතිවුණු ප්‍රසිද්ධතම ශාස්ත්‍රීය වාදයක් වන ‘සව්සත්දම්වාදය’ ඇතුළත් කරන්නේ නෑ. මොකද ඒ වාදය ගැන බොහෝ දෙනෙක් දන්න නිසා. නමුත් ඔබෙන් ඉල්ලීමක් ලැබෙනවා නම් ඒ ගැන වෙනම ආටිකල් එකක් ලියන්න අපි කැමතියි.

 

මාතර යුගයේ ලියැවුණු කව්මිණිකඬොල රචනා කරලා තියෙන්නේ පත්තායමේ ලේකම් කියන පඬිවරයා. ඔහු ගජමන් ​නෝනාගේ මාමා විදිහටත් සැලකෙනවා. මේ කෘතිය සංස්කරණය කරලා දොඩන්දූවේ ධර්මසේන කියන පඬිවරයා ප්‍රකාශයට පත් කරනවා. මේ වෙනකොට ලංකාව සම්ප්‍රදායක් තිබිලා තියෙනවා, ඒ තමයි යම් කෙනෙක් පොතක් නිකුත් කළාම ඒ පොතේ දෝෂ ගැන තවත් කෙනෙක් කතා කරන්න පටන් ගන්න එක. ඒ කාලේ ඉඳන්ම ලංකාවේ කට්ටිය අඩුලුහුඩුකම් හොයන්න දක්ෂ කියන එක ආපහු කියන්න ඕන නෑනේ ඉතින්. ධර්මසේන පඬිවරයාගේ මේ පොත ගැන මුලින්ම දෝෂදර්ශනයට ලක් කරලා තිබ්බේ ඩබ්ලිව්. සමරසේකර පඬිතුමා. මේ ලිපිවලට පිළිතුරු ලියන්න දොඩන්දූවේ ධර්මසේන පඬිවරයා වෙනුවට වැලිපටන්විල දීපංකර හාමුදුරුවෝ පෙරට ආවා. උන්වහන්සේ ‘සිහල සමය’ පුවත්පත හරහා සමරසේකර මහත්මයා ගෙනාපු තර්ක බිඳ හෙලන්න කටයුතු කළා. මේ විවාදය ඉතාමත් ශික්ෂණයකින් යුතුව පැවතුණු විවාදයක් විදිහට සලකන්න පුළුවන්.

 

කුකවි වාදය කියන්නෙත් ලංකාව ඇතුළේ ඉතා ආන්දෝලනයකට ලක්වුණු විවාදයක්. මේ වාදයට මුලපුරන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයා. ඒ කාලේ පැවතුණු ‘ස්වදේශීය මිත්‍රයා’ නැමති පුවත්පතට එතුමා “සිංහල කාව්‍ය ශාස්ත්‍රය” නමින් ලිපි මාලාවක් පළ කරනවා. මේ මේ ලිපි මාලාවේ දී ඔහු කාව්‍යශේඛර ගැන කියද්දී සඳහන් කරනවා තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බොහෝ සංස්කෘත කාව්‍ය වලින් අදහස් ලබාගෙන තියෙනවා කියලා. ඒ වගේම ඔහු සංස්කෘත ශ්ලෝකයක් උපුටා දක්වමින් සඳහන් කරනවා ඒ ශ්ලෝකයට අනුව නම් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට ගැලපෙන්නෙ කවි කියන නම නෙමෙයි කුකවි කියන නම කියලා.

කුමාරතුංග මුනිදාස මහත්මයාගේ මේ සඳහනත් එක්ක කැ​ළඹුමක් රට තුළ ඇතිවෙනවා කුමාරතුංග මුනිදාස මහත්මයාට එරෙහිව අවි අමෝරාගෙන විවිධ උගතුන් ලිපි පළ කරනවා. අවසානයේදී මේ ගැන විනිශ්චයක් කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයේදී රැස්වීමක් කැඳවනවා. මේ රැස්වීමේ මූලාසනය ගන්නේ ශ්‍රීමත් ඩී. බී ජයතිලක මහතා. අවසානයේදී කුමාරතුංග මහත්මයා කියන්නේ තමන් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ව කුකවියෙක් ලෙස හැඳින්වූයේ නැති බවත්, තමන් කළේ ශ්ලෝක පාඨයක් උපුටා දැක්වීමක් පමණක්​ය කියලාත් තමයි.

 

පාරුපානය කියන්නේ භික්ෂූන් වහන්සේලා සිවුරු පොරවන ආකාරයට. ලංකාවේ භික්ෂූන් වහන්සේලා සිවුර පොරවන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි උර දෙකම වැසෙන ආකාරයට සිවුරු පෙරවීම සහ එක උරයක් පමණක් වැසෙන ආකාරයට සිවුරු පෙරවීම. එක උරයක් වැසීම සියම් නිකායේ භික්ෂූන් වහන්සේලා අතර පැවත එන සම්ප්‍රදායක් වන අතර  උර දෙකම වැසීම අමරපුර නිකායේ සහ රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේලා අතර ඇති සම්ප්‍රදායයි.

නමුත් හික්කඩුවේ සුමංගල හිමියන් සියම් නිකායේ එතෙක් පැවතුණු ඒ කාලේ එක් උරයක් පමණක් වැසීමේ සම්ප්‍රදාය ධර්ම විනයට අනුව වැරදි බවත් පවසමින් උර දෙකම වැසීමේ සම්ප්‍රදාය සියම් නිකාය තුළ ආරම්භ කළා. උන්වහන්සේගේ මෙම තීරණයට එරෙහිව රත්මලානේ ධර්මාරාම හිමියන් විවේචනයක් එල්ල කිරීමත් සමගම මේ ගැන බොහෝ වාද විවාද ඇතිවුණා. අවසානයේදී සියම් නිකාය තුළ හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාව පමණක් දෙවුරම වැසීමේ සම්ප්‍රදායය ආරම්භ කළා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here