ලංකාවේ ඇති වුණු ශාස්ත්‍රීය වාද – දෙවැනි කොටස – Saru News Media

0
7

මේ මාතෘකාවට යන්න කලින්ම අපිට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි බොහෝ වෙලාවට අපිට එල්ලවන චෝදනාවක් තමයි කලා ලෝකයේ ඕප දූප ලියනවා වෙනුවට වැදගත් යමක් ඉගෙන ගන්න පුළුවන් මාතෘකාවක් ගැන ලියන්න කියන එක. හැබැයි ඇත්ත කතාව තමයි අපේ ලයිෆි එක එකේ සීයට අනූ නමයක්ම තියෙන්නෙ ඔබට දැනුමක් ගෙනෙන ආටිකල්. හැබැයි ඔබේ අවධානය යොමු වෙන්නේ අපි කලාකරුවන්ගේ ජීවිත ගැන ලියන ආටිකල් වලට විතරක් නම් ඒක ඔබේ වැරැද්දක් වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි අපි මේ අද ලියන ආටිකල් එකේ පළවෙනි කොටස. ඒකට අපි හිතපු තරම් හොඳ ප්‍රතිචාරයක් ඔබෙන් ලැබිලා තිබ්බේ නැහැ. හැබැයි අපි ලංකාවේ ප්‍රධානතම දැනුම ගෙනෙන වෙබ් එකක් විදිහට පාඨකයන්ගේ ප්‍රතිචාර නිසා අපේ ගුණාත්මක භාවය අඩු කරගන්න හිතන්නේ නෑ. ඒ නිසා අපි අද ලංකාවේ ඔබ මෙතෙක් වැඩිපුර නොඅසපු ශාස්ත්‍රීය වාද කීපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

 

බෞද්ධයෝ සියලු දෙනාගේම අවසාන අභිප්‍රාය තමයි නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම. හැබැයි නිර්වාණය කියන දේ විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට එක හේතුවක් වෙන්නේ  නිර්වාණය කියන දේ මනසට ගෝචර වන දෙයක් නොවන හින්දා. නමුත් අද දක්වාම නිර්වාණය ගැන විවිධ මත පළ වෙනවා.

නිර්වාණය පිළිබඳව ලංකාවේ වාර්තා වෙන පැරණිම වාදය පැවතිලා තියෙන්නෙ නිර්වාණය කියන්නේ විඥාන සහිත ද එහෙමත් නැත්නම් විඥාන රහිතව ද කියන ප්‍රශ්නය මූලික කරගෙන. පළමු මතය වෙනුවෙන් මාතර වටගෙදර සුධර්මාරාමාධිපති පොල්වත්තේ ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉදිරිපත් වෙද්දී නිර්වාණය විඥාන රහිත බව ඔප්පු කිරීමට දොඩම්පහල දීපංකර හාමුදුරුවෝ ඉදිරිපත් වුණා. හැබැයි මේ වාදය එක පක්ෂයක් හෝ ජයග්‍රහණය කිරීමෙන් කෙළවර වුණා කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ.

 

අද වෙනකොට බෞද්ධ සහ හින්දු ජනතාව අතර වැඩි වශයෙන් වශයෙන්ම ජනප්‍රිය වුණු දෙවියෙක් විදිහට විෂ්ණු දෙවියන්ව හඳුන්වන්න පුළුවන්. හැබැයි බොහෝ බෞද්ධයෝ විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන ත්‍රිපිටකයේ සඳහන් නොවන බවත් ඔහු සම්පූර්ණයෙන් ම හින්දු ආගමේ ආභාෂය නිසා බෞද්ධයෝ වඳින්න පුදන්න පටන් ගත්ත දෙවි කෙනෙක් කියලාත් කියනවා. මේ පිළිබඳව අදටත් වඩා 1900 දී පමණ විශාල මතවාද අරගලයක් ලංකාවේ ඇතිවෙලා තියෙනවා. දෙනිපිටියේ සුභාචාර, මාවැල්ලේ අරියකිත්ති යන හිමිවරුන් සහ ගිහි දේශකයෙකු වුණු බෙලිඅත්තේ ධර්මසේකර නම් පඬිතුමා එක පක්ෂයකටත් මාලාලංකාර නම් ස්වාමීන්වහන්සේ තවත් පක්ෂයකටත් සහභාගී වෙමින් මේ පිළිබඳව විවාදයක් දෙනිපිටියේ ඓතිහාසික නුග රුක මුල දී පවත්වා තිබෙනවා.

 

ගුත්තිල කාව්‍යය කියන්නේ සාමාන්‍ය ජනතාව අතර වගේම සාහිත්‍යය පිළිබඳව විධිමත් හැදෑරීමක් තියෙන අය අතර  පවා ජනප්‍රිය කවි පොතක්. මේ කවි පොත පිළිබඳව අර්ථ විවරණ සහිතව ගුත්තිල කාව්‍ය වර්ණනා නමින් ඩබ්ලිව්. එෆ් ගුණවර්ධන වාසල මුදලි තුමා කෘතියක් රචනා කළා. මේ කෘතියේ දෝෂ දක්වමින් ඇතැම් උගතුන් පුවත්පත් වලට ලිපි ලියන්න පටන් ගත්තා. අවසානයේ දී බත්තරමුල්ලේ ශ්‍රී සුභුති හිමියන් “විදුලිය” යන නමින් සඟරාවක් පටන් ගත්තේ ගුත්තිල කාව්‍ය වර්ණනා පොතේ වැරදි සමාජගත කරන්න.

 

තිසරණ සහිත පන්සිල් සමාදන් වීමේදී නමස්කාර පාඨය කීම අනවශ්‍ය බවට මතයක් මාතර ශ්‍රී ධර්මාරාම ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් මීට විරුද්ධ ව එවකට සිටි බොහෝ දැනඋගත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ විරෝධය ප්‍රකාශ කළා. අවසානයේ දී මේ මත ගැටුම වර්ධනය වීම නිසා තවත් කරුණුත් මුල්කරගෙන මාතර ධර්මාරාම හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සද්ධම්මයුත්තික නමින් නව නිකායක් පිහිටුවා ගැනීමට කටයුතු කළා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here