වැඩි දෙනෙක් නොදන්නා යුරෝපයේ රජ පවුල් ගැන දැනගන්න – Saru News Media

0
6

ලෝකයේ ජනප්‍රියම රජ පවුල වන බ්‍රිතාන්‍ය රජ පවුල ගැන අවස්ථාවන් කීපයකදීම විස්තර රැසක් ආටිකල් මගින් අපි ඔබ වෙතට ගෙනාවා. බ්‍රිතාන්‍ය රජ පවුලේ මේ ජනප්‍රියත්වය නිසාම යුරෝපයේ රටවල් ගණනාවක රජ පවුල් ගැන ලංකාවේ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ නිසා අපි අද හිතුවා යුරෝපා රටවල්වල රජ පවුල් කීපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

නෙදර්ලන්තයේ කොටසක් විදිහට පැවතුණු බෙල්ජියම 1831 දී නිදහස් රාජ්‍යයක් බවට පත් වුණා. ජර්මානු කුමාරයෙක් පළවෙනි ලියෝපෝල්ඩ් නාමයෙන් එරට පළමු රජ බවට පත් වුණා. එදා සිට අද දක්වා ලියෝපෝල්ඩ් ගේ උරුමක්කාරයන් බෙල්ජියමේ රජවරු විදිහට කටයුතු කරනවා. මේ වෙනකොට ඒ රට රජකම් කරන පිලිප් රජු සැලකෙන්නේ ජනප්‍රිය පාලකයෙක් විදියට. පළමු ලෝක යුද්ධය සහ දෙවැනි ලෝක යුද්ධය තුළ දී ජර්මන් ආක්‍රමණවලට එරෙහිව තම රටේ ජනතාව ඒකරාශී කිරීමට බෙල්ජියානු රජ පවුල මැදිහත් වුණා. නමුත් දෙවැනි ලෝක යුද්ධයේ දී තුන්වැනි ලියෝපෝල්ඩ් රජුගේ ක්‍රියාකලාපය ප්‍රශ්නකාරී වූ බැවින් ඔහුට තම සහෝදරයාට සිහසුන භාර දීමට සිදු වුණා. බෙල්ජියම් රජ පවුල ප්‍රශ්නයකට මැදිහත් වුණු එකම අවස්ථාව මේ සිදුවීම ලෙස හඳුන්වන්න පුළුවන්.

 

අද වෙනකොට  දෙවන එලිසබත් රැජින හැරුණුකොට යුරෝපයේ රටක් පාලනය කරන එක රැජිනක් ඉන්නවා. ඒ තමයි ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රට් රැජින. ඩෙන්මාර්ක ජනප්‍රවාද වලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ඩෙන්මාර්කය රජ කෙනෙක්ගේ පාලනය යටතේ පැවැතී තිබෙනවා. මේ නිසාම ඩෙන්මාර්ක රජ පවුල සැලකෙන්නේ යුරෝපයේ පැරණිතම රජ පවුලක් විදිහට. මාග්‍රට් රැජිණගෙන් පසුව ඇගේ පුත්‍රයා වන ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරු රජකමට පත් වනු ඇති.

 

වර්තමානයේ නෙදර්ලන්තයේ රජ කරන්නේ විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා. එතුමා රජකමට පත් වන්නේ ඔහුගේ මව වූ බියට්‍රිස් රැජින සිහසුන අත්හැරීමට තීරණය කිරීමත් සමග. ඇයට පෙර ජුලියානා සහ විල්හෙල්මිනා යන රැජිනියන් නෙදර්ලන්තය පාලනය කළා. පළමු වැනි ලෝක යුද්ධයේදී තම රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට නෙදර්ලන්තයට හැකියාව ලැබුණත් දෙවැනි ලෝක යුද්ධයේදී ලද පරාජයත් සමගම නෙදර්ලන්ත රජ පවුල බ්‍රිතාන්‍ය බලා ගියේ යම් හෙයකින් රජ පවුල නාසීන්ට අසූ වූවහොත් එය නෙදර්ලන්ත ජනතාවගේ මානසිකත්වයට බලවත් පහරක් වන නිසයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය තුළ සිටිමින් පවා ගුවන් විදුලිය මගින් දේශන පවත්වමින් නෙදර්ලන්ත රැජින සහ රජ පවුල තම ජනතාව දිරිමත් කරනවා ලැබුවා.

 

නෝර්වේ රටේ රජ කළ රජවරු ගැන විවිධ ජනප්‍රවාද ඈත අතීතයේ පටන් අසන්නට ලැබෙනවා. නමුත් දිගු කාලයක් පටන් ඩෙන්මාර්කය සහ ස්වීඩනය සමඟ එකම රටක් ලෙස පැවතීම නිසා නෝර්වේ රටට  රජ කෙනෙක් සිටියේ නැහැ. 1905 දී නෝර්වේ රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් විදිහට සංස්ථාපිත වුණු අතර ඒ අවස්ථාවේදී ඩෙන්මාර්ක කුමාරයෙකු තමන්ගේ රජු ලෙස ප්‍රකාශ කිරීමට ඔවුන් කටයුතු කළා. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියට විරුද්ධව තම රට සංවිධානය කිරීමට හකූන් නම් මේ රජු කටයුතු කළා. එහි සටනට සහාය දුන් ඕලව් නම් ඔහුගේ පුත් කුමරා ඉන් පසුව රජ බවට පත්වුණු අතර වර්තමානයේ රජකම් කරන්නේ ඔහුගේ පුත්‍රයා වන පස්වෙනි හැරල්ඩ් රජුයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here