නැපෝලියන් අධිරාජයා ගැන අප්‍රකට කතා – Saru News Media

0
6

 සියවස් ගණනාවක් ලෝකයේ අනිත් රටවල් වගේම යුරෝපයේත් රටක් පාලනය කරන්න ලැබුණේ පාරම්පරිකව ලැබුණු රාජ උරුමය නිසා. හැබැයි ප්‍රංශ විප්ලවය එක්ක මේ තත්ත්වය උඩු යටිකුරු වෙනවා. එම විප්ලවයෙන් පස්සේ ප්‍රංශයට රජ කෙනෙක් අවශ්‍ය වෙන්නේ නෑ. හිටපු රජ්ජුරුවන්වත් ගිලටීනයට යවන්න ප්‍රංශ වැසියෝ කටයුතු කරනවා. හැබැයි ප්‍රංශ විප්ලවයත් එක්ක එක්තරා පුද්ගලයෙක් තමන්ගෙම ගමනක් පටන් ගන්නවා. ඒ තමයි නැපෝලියන් බොනපාට්. ප්‍රංශ  විප්ලවය සමඟ කෙමෙන් කරළියට ආපු නැපෝලියන්, අවසානයේදී ප්‍රංශයේ අධිරාජ්‍යයා බවට පත්වෙනවා. ඒ වගේම යුරෝපය පුරාවටම ප්‍රංශයේ ආධිපත්‍ය පතුරුවන්න සමත් වෙනවා. නැපෝලියන් කියන්නේ විචිත්‍රවත් චරිතයක්. අපි අද ඒ චරිතය හා සම්බන්ධ අප්‍රකට කතා කීපයක් ගැන දැනගමු .

 

 කලින් අපි තියපු සටහනක නැපෝලියන් බොනපාට් ඉපදුනේ මොන දූපතේ ද කියලා සඳහන් කරලා තිබ්බා. ඒ වගේම ඔහු ප්‍රංශ ජාතිකයෙක් වුණු විදිහත් විස්තර කරලා තිබ්බා. ඒ නිසා අපි ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. 

දෛවයේ සරදමකට වගේ අවසානයේදී නැපෝලියන්ට පරාජයෙන් පස්සේ පිටුවහල්වෙලා යන්න සිද්ධ වෙන්නෙත් තවත් දූපතකට. ඒ ශාන්ත හෙලේනාවට. ශාන්ත හෙලේනාව අප්‍රිකා මහද්වීපයේ දූපතක් වුණාට එය තවමත් පාලනය කරන්නෙ එක්සත් රාජධානියෙන්.

 

 ‍ප්‍රංශ ජාතිකයන් අතර සුප්‍රසිද්ධ කතාවක් තියෙනවා නැපෝලියන්ගේ මව වුණු ලැටීෂියා හට ඇතිවුණා කියලා කියන දොළදුකක් ගැන. ඒ තමයි ලෝකයේ පවතින සියලුම රටවල් ගෙත්තමකට නගන එක. නැපෝලියන් බිහිවෙන අවස්ථාවේදී මේ ගෙත්තම සම්පූර්ණ වෙලා තිබ්බේ නෑලු. එතකොට තිබ්බෙ නැපෝලියන් පස්සෙ කාලෙක යටත් කරන ලද යුරෝපා රටවල්ලු. නැපෝලියන් බිහිවුණේ මේ ගෙත්තම මත කියලත් කතාවක් තියෙනවා. නමුත් ජීවතුන් අතර ඉන්දැද්දිම ලැටීෂියා මේ කතාව ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ කතාවේ තියෙන විචිත්‍රවත් ගතිය හින්දද මන්දා තාමත් බොහෝ දෙනෙක් මේ කතාව විශ්වාස කරන්න කැමතියි.

 

 නැපෝලියන් කියන්නේ  දක්ෂ රණශූරයෙක් වගේම උසස් රසඥතාවයක් තිබ්බ කෙනෙක්. මේ නිසා මුළු ජීවිත කාලය පුරාම ඔහු කලා නිර්මාණ වලට දැඩි ආශාවක් දැක්වූවා. මේ නිසා බොහෝ රටවල් ආක්‍රමණය කරද්දී ඒ රටවල කලා නිර්මාණ  ප්‍රංශයට ගෙන එන්න කටයුතු කළා. (හරියටම කිව්වොත් ඉතින් කොල්ල කෑවා) හැබැයි මේ කියන්න යන්නේ කොල්ලකාපු කලා නිර්මාණයක් ගැන නම් නෙමේ. ඒ වෙනකොට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තිබ්බ සුප්‍රකට සිතුවමක් නැපෝලියන් තමන්ගේ නිදන කාමරය අලංකාර කරන්න යොදා ගත්තා. ඒ තමයි “මොනාලිසා”. නැපෝලියන්ගේ ඇදවැටීමෙන් පස්සේ තමයි නැවතත් මොනාලිසා තමන්ගේ පුරුදු නවාතැන වුණු ලූවර් කෞතුකාගාරය වෙත ආවේ.

 

 ලෝකයේ සුප්‍රකට ආදර අන්දර අතර නැපෝලියන් සහ ජොසපින් අතර තිබුණු ආදරයට ප්‍රධාන තැනක් ලැබෙනවා. නමුත් විශේෂත්වය තියෙන්නේ මේ සම්බන්ධතාවය සීයට සීයක් අවංකව වුණේ නැහැ. දෙදෙනාටම වෙනත්  සම්බන්ධතා තිබ්බා. නමුත් ඒ කොහොම වුණත් දෙදෙනාම දෙදෙනාට දැඩිව ආදරය කළා. දෙදෙනාම මිය යන අවස්ථාවේදී අනෙක් කෙනාගේ නම අවසාන වචනය වශයෙන් කිව්වා කියල විශ්වාස කෙරෙනවා. නැපෝලියන් බොනපාට් හා විවාහ වෙද්දී ජොසපින් දරුවන් දෙදෙනෙක් සිටි මවක්. ඒ දරුවන්  දෙදෙනාටත් නැපෝලියන් දැඩි ලෙස ආදරය කළා. මේ නිසාම ජෝසපින්ගේ දියණිය වුණු හර්ටෙන්ස්ව නැපෝලියන්ගේ තවත් සහෝදරයෙකු වුණු ලුයිස් බොනපාට්ට විවාහ කරලා දෙන්න නැපෝලියන් කටයුතු කළා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here