ලොව වටා යනව නම් දැනගත යුතු රට රටවල අරුම පුදුම නීති රීති – Saru News Media

0
10

ලෝකේ වටේ යද්දි පාස්පෝට් එකයි, වීසා එකයි, මුදලුයි විතරක් තිබුනාට මදි. රට රටවල නීති රීති ගැනත් යම් දැනුමක් තියෙන එක වටිනවා. අපේ ආසියාතික රටවලට වඩා බටහිර රටවල නීති වෙනස්. නීති විතරක් නෙමෙයි, සමහර රටවල වාහන ඩ්‍රයිව් කරන පැත්ත පවා වෙනස්. ඉතින් මේ ලෝකේ රටවල් සමහරක අරුම පුදුම නීති රීති තියෙනවා. අපි එයින් කිහිපයක් ගැන දැනකියාගමු.

 

සිංගප්පූරුව කියන්නේ අපිට යන්න තියෙන ළඟම රටක්. පෑ තුන හතරකින් අපිට ගුවනින් සිංගප්පූරුව වෙත ළඟාවෙන්නට අවස්ථාව තියෙනවා. යුරෝපීය රටක් වගේ ඉංගිරිසි වලින් වැඩ කරන සිංගප්පූරුවේ නීති රීති සහ පසුබිම සංවර්ධිත රටක් වගේ. ඒ රටේ චුයින්ගම් කන්න නම් තහනම්. මේ තහනම එන්නේ 1992 දී. පොඩි ඉඩක පිහිටා  තියෙන සිංගප්පූරුවට කැලි කසල ප්‍රශ්නයක්. ඇලිලා ගැලවෙන්නේ නැති චුයින්ගම් පාරෙ යන අයට වගේම පොදු ප්‍රවාහනයටත් බාධාවක්. චුයින්ගම් තහනම එන්න පෙර චුයින්ගම් ඉවත් කරන්න ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වඩා මුදලක් සිංගප්පූරුවට වියදම් වෙලා තියෙනවා.

 

අපිට ආසන්නව පිහිටි ලෝකයේ ඉහළ පෙළේ ධනවතුන් මධුසමය ගත කරන්න යොදාගන්න තැනක් තමයි මාලදිවයින. මාලදිවයිනේ ගුවන් තොටින් ඇතුල්වෙද්දි සෙක්ස් ටෝයිස්, ඇල්කොහොල් බීම වගේම ලිංගිකමය කාරණා ඇතුළත් පත පොත පවා තිබුනොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මාලදිවයින මුස්ලිම් රටක්. සෑම බෑගයක්ම අවුස්සලා මාලදිවයින් එයාපෝට් එකේදි බලන්නේ නැහැ. ඒත් ඉතින් අනවශ්‍ය කරදර දාගන්න එක තේරුමක් නැති නිසා පෝන් මැගසින් හෝ ඩීවීඩී ටිකයි, අරක්කු සහ බියර් වගේ ඒවායි ගෙනියන්න ඉන්නවා නම් ඒව ගෙදර දාලා මාලේ යන එක කෝකටත් හොඳයි.

 

ග්‍රීසිය කියන්නේ පුරාවිද්‍යා ස්මාරක තිබෙන බොහොම පැරණි නගරයක්. මේ නගරයේ තිබෙන පුරාවිද්‍යා ස්මාරක ගැන හිතපු ඒ රටේ බලධාරීන් අපූරු නීතියක් පනවලා තියෙනවා. කාන්තාවන්ට හයි හීල්ස් එහෙම නැත්නම් අඩි උස සපත්තු පාවිච්චි කරන්න ග්‍රීසියෙදි ඉඩක් නැහැ. ග්‍රීසියේ පෞරාණික නටඹුන් ආශ්‍රිතව අඩි උස සපත්තු දැමීම තහනම්.

 

ජර්මනියේ තිබෙන අධිවේගී මාර්ග ජාලය හඳුන්වන්නේ ඔටෝබාන් නමින්. ලංකාවේ වගේ ජර්මනියේ හයිවේ එකේ හයි ස්පීඩ් ලිමිට් එකක් නැහැ. එයාල ඒ වුනාට දැනුවත් කිරීම් කරලා තියෙනවා පැයට කිලෝමීටර 130කට වඩා ධාවනය අනතුරුදායකයි කියලා. ඒත් 130ට වැඩි උනා කියලා පොලීසිය අල්ලලා දඬුවම් කරන්නේ නැහැ. ජර්මන් ඔටෝබාන් නෙට්වර්ක් එකේ තෙල් නැතුව ගිහින් නැවතුනොත් ඒක සලකන්නේ වැරැද්දක් විදියට. තෙල් නැතුව ගිහින් ලොකු කට්ටක් කන්න වෙනවා වගේම, ජර්මනියේ හයිවේ නෙට්වර්ක් එකේදි ලොකු දඩයකට ලක් වෙන්නත් වෙනවා.

 

තායිලන්තයේ තවමත් රාජ නීතිය යම් තරමකින් තියෙනවා. තායිලන්තයේදී රජතුමාට විරුද්ධව කතාකිරීම ඒ රටේදි සිරදඬුවම් විඳින්නට හේතුවක් වෙනවා. ඒ වගේම තායි වලදී තායි මුදල් නෝට්ටු වල ඉන්නේ රජතුමා හෝ කුමාරයා. ඒ මුදල් නෝට්ටු බිම දමා පෑගීමත් දඬුවම් ලැබිය හැකි දැඩි වැරැද්දක් වෙනවා තායිලන්තයේදී.

 

අපේ රටේ පාර්ලිමේන්තුවේ නම් ගහ මරා ගැනීම කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. පහුගිය දවස්වලත් අපේ පාර්ලිමේන්තු සභා වාරය වතුර බෝතල්, මිරිස්කුඩු සහ පුටු සටන් වලින් වර්ණවත් වුනා. එංගලන්තයේ පාර්ලිමේන්තුවේ කාටවත් මැරෙන්න තහනම්. මොකද පාර්ලිමේන්තුවේ කවුරුහරි වැරදිලාවත් මැරුණොත් රටේම ශෝක දිනයක් ප්රකාශයට පත් කරන්නට වෙනවා. ඒ නිසා එංගලන්ත පාර්ලිමේන්තුව මැරෙන්න තහනම් කලාපයක් විදියට නම් කරලා තියෙනවා.

 

මුහුදු වෙරළ බොහොම සුන්දර තැනක් වුනත් තාමත් අපේ රටෙත් සමහර පළාත්වල ජනයා වැසිකිළිය විදියට මුහුද යොදාගන්නවා. එය වෙරළට යන අයට අප්රසන්න අත්දැකීමක්. පෘතුගාලයේදී වෙරළ විතරක් නෙමෙයි, මුහුදේදීත් මුත්‍රා කරන්න තහනම්. ඇත්තටම මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා නම් වාර්තා වෙන්නේ නැහැ. ඒත් ඔන්න මූදේ චූ කරලා අහුවුනොත් පෘතුගාලේ නම් හිරේ යන්න වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here