වකුගඩු පරිස්සන් කරගන්න, මේ දේවල් අදම පටන් ගන්න – Saru News Media

0
26

කොඳු ඇටපෙළට දෙපසින් ඉළ ඇට වලට මඳක් පහළින් පිහිටල තියෙන, මිට මෙළවූ අතකට ප්‍රමාණයෙන් වඩා සමීප, වකුගඩු කියන්නෙ අපේ ශරීරයේ තියෙන ඉතාම වැදගත් අවයව වලින් එකක් කියල ඔබ දැනටමත් දන්නව ඇතිනේ. 

රුධිරය හරහා පැමිණෙන අපද්‍රව්‍ය සහ අනෙකුත් අනවශ්‍ය තරල වර්ග පෙරා ගබඩා කරගෙන මුත්‍රා හරහා ශරීරයෙන් පිටකිරීම, 

අස්ථි සහ මාංශපේශී සඳහා අවශ්‍ය විටමින් D සක්‍රීය කිරීම, 

රුධිර පීඩනය පාලනය කිරීමටත්, රතු රුධිර සෛල නිපදවීමටත් අවශ්‍ය හෝමෝන වර්ග නිදහස් කිරීම, 

ශරීරයේ pH මට්ටම ක්‍රමානුකූලව පවත්වා ගැනීම වගේම 

රුධිරයේ පොටෑසියම් සහ කැල්සියම් මට්ටම නිසි පරිදි පවත්වා ගැනීමත් වකුගඩු වලින් ඉටු කෙරෙන කාර්‍යන් අතර ප්‍රධානයි. 

මේ වගේ වැදගත් කාර්‍යන් අපේ සිරුරට ඉටු කරල දෙන වකුගඩු වල ආරක්ෂාව සහ නීරෝගී බව ගැන අපි ඉතාම හොඳින් සැළකිලිමත් විය යුතුමයි. 

වකුගඩු වල ක්‍රියාකාරීත්වයට යම් හානියක් බාධාවක් සිදුවී ඇති අවස්ථාවක් වකුගඩු රෝගයක් ලෙස හඳුනාගන්න පුළුවන්. 

ඒ වගේ යම් වකුගඩු රෝගයක් දීර්ඝ්කාලීනව පැවතීමෙන් එය නිදන්ගත වකුගඩු රෝගයක් / chronic kidney disease එහෙමත් නැත්නම් CKD කියන තත්වයට ලක්වීම සිදුවෙනව.   

මේ CKD තත්වය නිසා 

රුධිරයේ අපද්‍රව්‍ය තැම්පත් වීම, 

අස්ථි දුර්වල වීම, 

රුධිර පීඩනය ඉහළ යාම, 

හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවීමේ අවධානම ඉහළ යාම 

සිදුවෙන බවත් හඳුනාගන්න ලැබෙනවා. 

CKD තත්වයන් වඩා දරුණු බවට පත්වීමෙන්, අපිරිසිදු රුධිරය ඉවත් කිරීමට සහ වකුගඩු පිටතින් බද්ධ කිරීමට පවා සිදුවෙන වකුගඩු අකර්මන්‍යතා වුනත් ඇතිවීමේ අවධානම තියෙනවා. 

ඔබේ වකුගඩු පරිස්සන් කරගැනීම අතිශයින්ම වැදගත් වෙන්නෙ මෙන්න මේ හේතු නිසාමයි කියල දැන් ඔබට වැටහෙනව ඇතිනෙ. 

ඒ නිසා අපි බලමු, තවත් ප්‍රමාද නොවී නීරෝගී වකුගඩු වෙනුවෙන් ඔබට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියල. 

වකුගඩු පරීක්ෂා කරගන්න

මුල් අවධියේදී කැපීපෙනන ලෙස හඳුනාගත හැකි රෝග ලක්ෂණ දකින්න නොලැබෙන නිසා තමන්ගේ වකුගඩු වල යම් ගැටළුවක් ඇති බව බොහෝ දෙනෙක්ට හඳුනාගන්න අපහසුයි. 

වකුගඩු වල අකර්මන්‍යතා ඕනෑම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් වුනත්, 

දියවැඩියාව, 

අධි රුධිර පීඩනය, 

තරබාරුව, 

වකුගඩු රෝග සහිත පවුල් ඉතිහාසය, 

නැවත නැවත ඇතිවෙන වකුගඩු වල ගල්, 

වයස අවුරුදු 60 ට වැඩිවීම වගේම 

ඔබ ජීවත් වන ප්‍රදේශයේ පානීය ජලයේ ඇති ගැටළු වගේ කරුණු වකුගඩු රෝග ඇතිවීමේ අවදානම වැඩි බව සඳහන් කරන්න පුළුවන්. 

මේ අවදානම් සාධක ඔබටත් තියෙනව නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා මුණගැහිලා ඒ සඳහා නියමිත පරීක්ෂණ කර ගැනීමෙන් ඔබේ වකුගඩු වල නීරෝගී බව පිළිබඳ අවබෝධයක් ලබාගන්න ඔබට පුළුවන්. 

ඒ වගේම ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත වකුගඩු වල ක්‍රියාකාරීත්වය පිළිබඳව වගේම මුත්‍රා පරීක්ෂණත් නියමිත කාලයේදී කර ගැනීමෙන් ඔබේ නීරෝගී බව තහවුරු කරගන්නත් ඔබට පුළුවන්. 

රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගන්න

අධි රුධිර පීඩනය වකුගඩු වල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒ නිසා රුධිර පීඩනය නියමිත මට්ටමේ පවත්වා ගෙන යාම හරිම වැදගත්. 

සාමාන්‍යයෙන් නීරෝගී පුද්ගලයෙක්ගේ රුධිර පීඩනය 120/80 පවතින අතර අධි රුධිර පීඩනය ඇතිවීමේ ආරම්භක අවධියේදී රුධිර පීඩනය 139/89 අතර අගයක් ගන්නවා.

ඔබේ රුධිර පීඩනය 140/90 අගයක පිහිටනවා නම් ඔබට අධි රුධිර පීඩනය ඇති බව හඳුනාගන්න පුළුවන්. 

ඒ නිසා,

ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය ඖෂධ නිසි පරිදි භාවිතා කිරීම, 

ලුණු සහ තෙල් පරිභෝජනය අඩු කිරීම, 

දිනකට පලතුරු 02 ක් 03 ක් සහ එළවළු 03 ක් 05 ක් පමණ ආහාරයට ගැනීම සහ 

නිසි පරිදි ව්‍යායාම වල නිරත වීමත් ඉතාම වැදගත්. 

ව්‍යායාම වල නිරත වෙන්න

නිතිපතා ව්‍යායාම වල නිරත වීම වකුගඩු රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්න හොඳ උපකාරයක් සපයනවා. 

රුධිර පීඩනය අඩු කරන්න,

හෘද වාහිනී වල නීරෝගී පැවැත්මට සහ

රුධිරගත සීනි මට්ටම නිසි පරිදි පවත්වා ගන්නත් ව්‍යායාම හරිම වැදගත්. 

ව්‍යායාම කිරීමට වැඩි වේලාවක් හෝ ශරීර සුවතා මධ්‍යස්ථානයක්ම අවශ්‍ය වෙන්නෙත් නෑ. 

අවම වශයෙන් දිනකට විනාඩි 30 ක් වත් පිහිනීම, දිවීම, බයිසිකල් පැදීම හෝ ඇවිදීම වගේ සරල ව්‍යායාම වල හෝ නිරත වෙන්න පුළුවන් නම් වකුගඩු රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්න එයත් අතිශයින්ම ප්‍රමාණවත් බව සඳහන් කරන්න පුළුවන්. 

රුධිරගත සීනි මට්ටම පාලනය කරගන්න 

ඔබට දියවැඩියා තත්වයක් ඇත්නම් වකුගඩු රෝග ඇතිවීමේ අවදානම වැඩියි කියල අපි කලින් සඳහන් කරානෙ. 

රුධිරගත් සීනි මට්ටම වැඩියි නම් එම සීනි පෙරා ඉවත් කරන්න ඔබේ වකුගඩු වලට අමතර ක්‍රියාකාරීත්වයක් දක්වන්න සිද්ධ වෙනවා.

මේ විදිහට දිගින් දිගටම වැඩි ක්‍රියාකාරීත්වයක් දැරීමට සිදුවීම නිසා වකුගඩු වල විවිධ ගැටළු ඇතිවීමේ අවදානම තියෙනවා. 

ඔබ දැනටමත් දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක් නම්, ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය ඉන්සියුලින් මාත්‍රාව නිසි පරිදි ගැනීමත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැඳීමත් අනිවාර්‍යයි. 

ඔබට දියවැඩියාව ඇතිවීම වළක්වා ගැනීමට අධික සීනි සහ කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර හැකි තරම් අඩුකරන්නත්, ප්‍රෝටීන, සෞඛ්‍ය සම්පන්න මේදය සහ තන්තු අඩංගු සමබර ආහාර වේලක් ගැනීමත් ඉතාම වැදගත්. 

හොඳින් ජලය පානය කරන්න

වකුගඩු වල නිසි ක්‍රියාකාරීත්වයක් පවත්වා ගෙන යන්න නියමිත සහ ස්ථාවර ලෙස පවතින ජල මට්ටමක් අත්‍යාවශ්‍ය වෙනවා. 

ඒ නිසා ඔබේ සිරුරේ බර, උස, ඔබේ වයස, සෞඛ්‍ය තත්වය සහ කාලගුණික සාධක සලකා බලා අවශ්‍ය ජල ප්‍රමාණය නිසි පරිදි ලබා ගැනීම ඉතාම වැදගත්. 

පැණි රස, කෘතීම රසකාරක හෝ වර්ණක යෙදූ බීම වර්ග පානයෙන් හැකි තරම් වැළකී ස්වභාවික පාන වර්ග සහ ජලය පමණක් පානය කරන්න ඔබට පුළුවන් නම් එයත් වකුගඩු වල නීරෝගී පැවැත්මට හොඳ උදව්වක් ලබාදෙනවා. 

ඒ වගේම ඔබට කලින් වකුගඩු වල ගල් ඇතිවෙලා තියෙනව නම්, අවශ්‍ය ජල ප්‍රමාණය නිසි පරිදි ඔබේ සිරුරට ලැබීම නම් අත්‍යාවශ්‍යයි. 

මත්ද්‍රව්‍ය සහ දුම්පානයෙන් වැළකීම

මත්ද්‍රව්‍ය වල ඇති විවිධ විෂ වර්ග ඉවත් කරන්න වකුගඩු වලට වැඩි ක්‍රියාකාරීත්වයක් යෙදීමට සිදුවීම හානිකරයි වගේම දුම් පානය නිසා රුධිර නාල වලට හානි සිදුවීමේ අවදානමකුත් හඳුනාගෙන තිබෙනවා. 

ඒ නිසා මත්ද්‍රව්‍ය සහ දුම්පානය සම්පූර්ණයෙන් නවත්වා දමන්න හෝ පාලනයකින් යුතුව සිදු කිරීම ඉතාම වැදගත්. 

මේ කරුණු වගේම අනවශ්‍ය පරිදි අධි මාත්‍රාවකින් යුතු ඖෂධ දීර්ඝකාලීනව ගැනීමත් වකුගඩු රෝග ඇතිවෙන්න බලපාන බව අද වෙද්දි පරීක්ෂණ මඟින් තහවුරු කරගන්න පර්‍යේෂකයන් සමත් වෙලා තියෙන නිසා ඒ ගැන ඔබේ අවදානය යොමු කරන එකත් වැදගත් කියල අපි ඔබට ආදරෙන් මතක් කරන්න කැමතියි. 

එහෙනම්, ඔබේ ජීවන රටාව මේ විදිහට වෙනස් කරගෙන වකුගඩු රෝග ඇතිවීම නිසා ඇතිවෙන මානසික, මූල්‍ය සහ ශාරීරික ගැටළු අවම කරගන්න තවත් ප්‍රමාද වෙන්න එපා කියල ඔබට මතක් කරන ගමන් මෙවන් වැදගත් ලිපියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. 

ඔබට සුව දවසක් වේවා !

සටහන – දුලානි නවෝද්‍යා  

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here