වීසා සමාගමේ ආදායම ඩොලර් මිලියන 75ක්..

0
5

විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අගමන විගමන පාලකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

අදාල ලිපිය මෙසේය.

ආගමන විගමන පාලක,
ආගමන විගමන දෙපාර්තමේන්තුව,
බත්තරමුල්ල.

ගරු මැතිතුමනි,

නීති විරෝධී ආකාරයට විදේශිකයින් සඳහා ගුවන්තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික ඉන්දියානු සමාගමකට පැවරීමේ වරද පිළිබඳව

පසුගිය මැයි 01 වැනිදා කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය තුළ ඇති වූ ප‍්‍රමාදය නිසා පැන නැගුණු විරෝධය තුළින් ආගමික විගමන දෙපාර්තමේන්තුව විසින් එසේ වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලිකම ඉන්දියානු සමාගමකට පවරා ඇති බව රටට එළිදරව් විය. නමුත් ජාතික ආරක්ෂාවට පවා ප‍්‍රබල බලපෑමක් ඇති කරන එවැනි රාජ්‍ය වගකීමක් පුද්ගලීකරණය කෙරෙන බවට කිසිදු වගකිවයුත්තකු විසින් රටේ ජනතාව දැනුවත් කර තිබුණේ නැත.

ඊට පෙර 2012 සිට ක‍්‍රියාත්මක කරනු ලැබූ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය සහ පැමිණීමේදී වීසා නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඔබගේ අධීක්ෂණය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය. එම නිලධාරීන් විසින් එම වගකීම මැනවින් ඉටුකළ බව සහ ඒ පිළිබඳව දේශීය හෝ විදේශීය කිසිදු පුද්ගලයෙකු විසින් විරෝධතා දැක්වීමක් සිදුකර නොමැති බව ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි.

ඒ ආකාරයට රාජ්‍යය විසින් ඉටු කළ යුතු වගකීමක් පුද්ගලික අංශයට පැවරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට ලක් කිරීමට අමතරව ඒ මගින් සංචාරකයින් අධෛර්මත් කිරීමක් ද සිදුවන බව ඉතා පැහැදිලිය. එම ක‍්‍රියාවලිය තුළ වීසා නිකුත් කිරීමේ පටිපාටිය සංකීර්ණ වීම සහ අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීම නිසාම එසේ සංචාරකයින් අධෛර්යමත් වීම සිදුවන බව ඔබට ඉතා හොඳින් තේරුම් ගත හැක. ඒ අනුව දළ වශයෙන් එක් වීසා බලපත‍්‍රයක් සඳහා ඇමරිකානු ඩොලර් 25කට අධික අමතර පිරිවැයක් දැරීමට සංචාරකයාට සිදුවන බව ඔබ පිළිගන්නවා ඇත. එම මුදල් රජයට නොලැබෙන අතර ආණ්ඩුවේ ඉලක්කවලට අනුව වාර්ෂිකව දළ වශයෙන් සංචාරකින් මිලියන 3ක් රටට පැමිණියහොත් එම සරල සේවාව සැපයීම මගින් අදාළ සමාගම උපයාගන්නා ආදායම ඩොලර් මිලියන 75ක් වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ එසේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව එනම් ප‍්‍රසම්පාදන පටිපාටියට විරුද්ධව එම පුද්ගලික සමාගමට අදාළ වගකීම පැවරීම මගින් අදාළ ක‍්‍රියාවලියට ආශිර්වාදය ලබා දුන් පිරිසකට අයුතු ප‍්‍රතිලාභයක් ලැබෙන බවට එල්ල වන චෝදනා සාධාරණීකරනය වන බවද ඔබ පිළිගන්නවා ඇත.

කෙසේ වෙතත් දැනට පවතින නීතිය යටතේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට යටත්ව හෝ ඒ ආකාරයට වීසා නිකුත් කිරීමේ බලය පුද්ගලික සමාගමට පැවරීමට ඔබට බලයක් නැති බව ඉතා පැහැදිලිය. ඊට අමතරව මෙම ක‍්‍රියාවලියට අදාළව පත් කරනු ලැබූ කමිටුවක් මගින් පවතින නීතිය සංශෝධනය කිරීමකින් තොරව එවැනි පුද්ගලීකරණය කිරීමක් සිදුකළ නොහැකි බවට මතයක් ප‍්‍රකාශ කළ බව ජනමාධ්‍ය මගින් හෙළිදරව් විය. එසේ නම් ඔබ විසින් අනුමැතිය ලබා දුන් ක‍්‍රියාවලිය නීති විරෝධී බවට ඔබට ඉතා හොඳ අවබෝධයක් තිබිය යුතුය.

යම් රටවල් වීසා අයදුම් පත‍්‍ර සකස් කිරීමේ ක‍්‍රියාවලිය අදාළ ඉන්දියානු සම්භවයක් සහිත සමාගමට පවරා ඇතත් වීසා නිකුත් කිරීමේ බලය සහ ආගමන විගමන තොරතුරු පද්ධතියට ඇතුල්වීමේ බලය ලබාදී නොමැත. ඒ අනුව ඔබ විසින් අනුමැතිය ලබාදී ඇති ක‍්‍රියාවලිය කිසිසේත්ම සාධාරණිකරණය කිරීමට හැකියාවක් නැත. ඊට අමතරව මෙම තීන්දුව යම් බලපෑමක් මත කඩිනම් කිරීමට සිදුවූවාද යන්න පිළිබඳව සැකයක් මතුවේ. ඊට හේතුව ඔබගේ ආයතනයේ වෙබ් අඩවිය මගින් ප‍්‍රකාශයට පත් කර තිබූ ආකාරයට චීනය, ඉන්දියාව, රුසියාව, ජපානය ආදී රටවල් කිහිපයක සංචාරකයින්ට 2024 මැයි 31 දා දක්වා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කරන බව ප‍්‍රසිද්ධියට පත්කිරීමය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here