සැටලයිට් ඉන්ටර්නෙට් යථාර්තයක් වෙයිද? – Saru News Media

0
16

අන්තර්ජාලය හැමෝටම හැමතැනදිම ලැබෙන්නෙ නැහැ. ලෝකය කොතරම් දියුණු වුනත් නැව් වල යන අයට, අහස් යාත්‍රාවල යන අයට වගේම කාන්තාර, ඇන්ටාක්ටිකා වගෙ පාළු භූමි වල ඉන්න අයටත් අන්තර්ජාල පහසුව සෑහෙන අඩුයි. ඒ අයට දැනට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න සැටලයිට් හරහා සීමිත ඉඩක් ලැබිල තියෙනවා. ඉදිරි කාලයේදී දේශ සීමා භේදයක් නැතිව අන්තර්ජාලය රිසිසේ ලබාගන්න පුළුවන් සුවිසල් සැටලයිට් පද්ධති ගැනත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. අපි ඒ ගැන බලමු.

 

දැනට සැටලයිට් හරහා අන්තර්ජාල පහසුව ලබාගන්න අමරිකාවෙදි පුළුවන්. ඒකත් ඇමරිකානු සමාගම්ම කියන විදිහට බොහොම මිල අධික, ඒ වගේම සීමාසහිත තෝරාගැනීමක්. ලොකු දත්ත වේගයක් නැහැ, වීපීඑන් පහසුකම් ගන්නත් බැහැ. ඊට අමතරව සැටලයිට් සම්බන්ධතාවයකදි ලොකු ඩිෂ් එකක් වහලේ උඩ සවිකරන්නත් ඕනි. ඉතින් මේ සැටලයිට් වලට එහා ගිහින්, දැලක් වගේ පෘථිවි ගෝලයට කිලෝමීටර දෙතුන් සීයක් දුරින් පෘථිවිය වසාගත් සැටලයිට් පද්ධතියක් ගැන මෑතකදි කතාබහ ඇතිවෙලා තියෙනවා.

 

භූ ස්ථාවර චන්ද්‍රිකා කියන්නේ සමකයට උඩින් තියෙන කක්ෂයේ පෘථිවිය එක්කම එක හා සමානව භ්‍රමණය වන චන්ද්‍රිකා. මේ චන්ද්‍රිකා දැනට රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු වලට ගන්නවා. මේ චන්ද්‍රිකා වල තියෙන වාසිය තමයි ලංකාවට ආසන්න සමකයේ තිබ්බනම් ඒ චන්ද්‍රිකාව හැමදාම තියෙන්නේ ලංකාව තියෙන තැනම තමයි. ඒත් මේ චන්ද්‍රිකා මේ විදිහට තියෙන්න නම් හරියටම පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 35,800ක් උඩින් මේ චන්ද්‍රිකා පිහිටන්න ඕනි. ඒ නිසා මේ චන්ද්‍රිකාවලට සිග්නල් එකක් ගිහින් එන්න තත්පරයක් විතර යනවා. රූපවාහිනී සම්ප්‍රේෂණ වලදි ටිකක් සිග්නල් එක ප්‍රමාද වුනාට අවුලක් නැහැ. මොකද අපිට ලැබෙන්නේ වීඩියෝ ඩවුන්ලෝඩ් එකක් විතරක් නිසා එච්චරම දැනෙන්නෙ නැහැ. ඒත් ටෙලිෆෝන් හුවමාරු සහ අද තිබෙන අන්තර්ජාල ඇප්ලිකේෂන් වලට නම් මේ ඩිලේ එක සැරට බලපානවා. ඒ නිසා භූ ස්ථාවර චන්ද්‍රිකා අන්තර්ජාල හුවමාරු වලට යොදාගන්න තිබෙන්නේ අඩු ඉඩක්.

 

සාමාන්‍ය ක්‍රමයට ලොව වටා ඉන්ටර්නෙට් බෙදා හරින්නේ වයර් මතින්. මූද යටින් ඇදෙන සබ්මැරීන් කේබල හරහා මහද්වීප අතර, ගොඩබිම් අතර දත්ත සම්ප්‍රේෂණ කටයුතු වෙනවා. ඒ වගේම අවසාන අන්තයේදී ටවර් මගින් සහ නිවෙස් වලට ලබාදෙන සබඳතා හරහා අවාසාන කෙළවරේ පාරිභෝගිකයින්ට අන්තර්ජාලය ලැබෙනවා. ඒ හැම ක්‍රමයකදිම ස්ථාපනය කරන්නත් ඉන් පසු නඩත්තු කටයුතු වලටත් යන මුදල අඩුකරගන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඒත් සැටලයිට් වලදි සැටලයිට් අහසට යවන්නත්, ඒ සැටලයිට් පාලනය කරන්නත් අමතර වියදමක් යනවා. ඒක කේබල් සහ දැනට තියෙන ටවර් ක්‍රමවේද වලට වඩා වෙනස් වියදමක්.

 

යෝජනා කරලා තියෙන විසඳුමක් තමයි පහල කක්ෂවල රැඳවූ කුඩා සැටලයිට් දහස් ගාණක් මගින් අන්තර්ජාලය සැපයීම. එහිදී සැටලයිට් ජාලය මගින් අපිට පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා අන්තර්ජාලයට ඕනෑම තැනකින් ඇක්සස් කරන්නට පුළුවන් වේවි. මේ සැටලයිට් ගුවන් ගත කරන්නත්, ඒවා හසුරුවන්නත් විවිධ ක්‍රමවේද යෝජනා වෙලා තියෙනවා. ඒ අතර ස්පේස් එක්ස් කණ්ඩායම එක්වර සැටලයිට් කිහිපයක්ම උඩුගුවනට යැවිය හැකි, නැවත භාවිතයට ගත හැකි රොකට් තාක්ෂණයක්ද යෝජනා කරලා තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here