Google search engine
Home ගොසිප් පුවත් සිංහලෙන් කතා කරන්නට බැරිව සමාව ගත්ත බණ්ඩාරනායක

සිංහලෙන් කතා කරන්නට බැරිව සමාව ගත්ත බණ්ඩාරනායක

0
10

bandaranaike-sinhala

1956 පංච මහා බලවේගය පිහිටුවා මෙරටේ දේශපාලනයේ නව පෙරළියක් ඇති කරන්නට අග්‍රාමාත්‍ය ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතාට හැකි විය.සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේග ඒකරාශී කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට රාජ්‍ය බලය ලබාදීමට හෙතෙම උපායශීලී විය. රටේ අනාගතය පිළිබඳ නිවැරැදි දැක්මක් බණ්ඩාරනායක මහතාට විය.එතුමා දේශපාලනයට පිවිසියේ අද මෙන් දේශපාලනයේ නිරත දේශපාලනඥයන් සේ තම බඩ වඩා ගැනීමට නොවේ.

වර්තමානයේ මෙරට දේශපාලනයේ යෙදෙන බොහෝ අයට ඒ සඳහා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ද නොමැති බව මුළු රටම දනියි. එහෙත් බණ්ඩාරනායකයන් දේශපාලනයට පැමිණෙන විට වෘත්තීය සුදුසුකම් ද සපුරාගෙන තිබුණි.

ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිධරයකු හා බැරිස්ටරයකු ලෙස සමත් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණියේය. එසේ පැමිණියේ අදින් වසර සියයකට පමණ පෙරය. 1925 පෙබරවාරි 24 වැනිදා ඔහු උගතකු ලෙස මෙරටට පැමිණියේය. ඔහු එරට වසර හයක් අධ්‍යාපනය හදාරා තිබුණි. ඉන් අනතුරුව ඔහු දේශපාලනයට යොමු විය. උගත්, තරුණ බණ්ඩාරනායක පිළිගැනීම සඳහා එදා කොළඹ වරායට විශාල පිරිසක් පැමිණ සිටියහ. මුදලිඳු සොලමන් ඩයස් බණ්ඩාරනායක හා ආර්යාව ඇතුළු ප්‍රභූන් රැසක් ද එහි පැමිණ සිටියහ. තරුණ නීතිවේදියා එහිදී සුහදව පිළිගැනීමෙන් අනතුරුව අලුත්කඩේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානය වෙත කැඳවාගෙන එනු ලැබීය. එහිදී දේව මෙහෙයක් ද පැවැත්වුණි.

එදිනම බණ්ඩාරනායකට සිංහල භාෂාව හරිහමන් හැටියට හැසිරවීමට අමාරු විය. එනිසා ඔහු කතාව පටන් ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් ය.

“මට ඔබලා පිළිගැන්වූ ස්තුති පත්‍ර ගැන මං බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒත් ඔබ අමතා ඉංග්‍රීසියෙන් කතා කිරීමට සිදුවීම ගැන ඔබගෙන් මම පළමුවෙන්ම සමාව අයදිනවා.” ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවෙන් බණ්ඩාරනායක තරුණයා ජනතාව අමතමින් කියා සිටියේය. ඉංග්‍රීසි උගත්කමක් නොමැති සාමාන්‍ය ජනතාවට බණ්ඩාරනායකයන් කී දේ හරියට වැටහුණේ නැත. එය ඔහුට ද මනාව අවබෝධ විය. එහිදී ඔහු ජනතාව අමතමින් ඒ ගැන මෙසේද අදහස් පළ කළේය.

” මගේ මවු රටින් බොහෝ කාලයක් ඈත් වී සිටීම නිසා ඔබ සමඟ සිංහලෙන් දිගින් දිගටම කතා කිරීමට තරම් දැනුමක් මට නැහැ. එය මට ලෙහෙසියෙන් හදා ගත හැකි වරදක්. අවශ්‍ය වන්නේ භාෂාව සම්බන්ධයෙන් මා දරන මතයයි. මම මගේ හද පත්ලෙන්ම සිංහල බව ඔබට සහතික කොට කියමි” යනුවෙන් මවුබස නොදැනීමේ අඩුව තවදුරටත් රැස්ව සිටි ප්‍රදේශවාසීන්ට පැහැදිලි
කරමින් හෙතෙම ප්‍රකාශ කළේය.

එදා උගතෙකු ලෙස මෙරට පැමිණි දවසේ තමා උණුසුම් ලෙස පිළිගත් ජනතාවට සිංහල භාෂාවෙන් කතා කිරිමට නොහැකි වීම ගැන බණ්ඩාරනායක තරුණයා බෙහෙවින් කම්පාවට පත්විය. ඒ නිසා ඔහු ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.මූලාරම්භය එසේ වුවද ඉන්පසු ඔහු සිංහල භාෂාව චතුර ලෙස හැසිරවීමට උපන් හපන්කම් දැක්විය. අවශ්‍ය තැනදී ඉංග්‍රීසි භාෂාවෙන් ද කතා කිරීමට ඔහු පසුබට නොවීය. වෘත්තීය අත්දැකීම් සමඟම බණ්ඩාරනායකයන් දේශපාලනයට අත්පොත් තැබුවේ ඉන්පසුවය. එහිදී පසුකාලීන ඔහු සමඟ චතුර කථිකයත් වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, වැනි නායකයන් සමඟ කරට කර සිංහල, ඉංග්‍රීසි භාෂාවන් දෙකෙන්ම කතා කිරීමට එතුමා සමත් විය. එදා සිංහලෙන් කතා කරන්නට බැරි වූ මේ උගත් තරුණයා පසුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ඓතිහාසික කාර්යයටද මැදිහත්වීම ඉතිහාසගත කරුණකි.

කමල් ශ්‍රී ලියනගේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here