සෝෂල් මීඩියා වලට වැය කරන කාලය සීමා කරන්නේ කොහොමද? – Saru News Media

0
11

ඇත්තටම අද කාලේ ගොඩක් දෙනෙක්ට ෆේස්බුක් නැති ලෝකයක් ගැන හිතාගන්න පුළුවන්ද? හිතන්නවත් බෑ නේද? හැබැයි ඇත්තටම අපිට සෝෂල් මීඩියා නැති ලෝකයක් තිබුණා. හරි, සෝෂල් මීඩියා වල නරක වගේම හොඳත් තියෙනවා. හැබැයි ඉතින් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙනවා කියන්නේ ආයෙ ජීවිතෙන් සැලකිය යුතු කොටසක් ඒකට ගත වෙනවා කියන එක, හිතන්න බැරි විදියට වැඩ පාඩු වෙනවා කියන එක තමයි. නිකමට හිතන්න දවසකට පැය දෙකක් සෝෂල් මීඩියා වල ගත කරනවා කියලා. දැන් බලන්න දින තුන්සිය හැටපහ පැය දෙකකින් වැඩි කරලා! පේනවනේ අවුරුද්දකට සම්පූර්ණ මාසෙකටත් වැඩියෙන් සෝෂල් මීඩියා වලට ගත වෙලා කියලා!! ඒ සෝෂල් මීඩියා ඇබ්බැහිය නිසා ජීවිතෙන් මගඇරෙන දේවලුත් බොහෝමයි!!!

 

ඉතින් ඔන්න ඔය හින්දා තමයි අපි සෝෂල් මීඩියා වල නිස්කාරණේ කාලය නාස්ති කිරීම සීමා කරගන්න වුවමනා වෙන්නේ.  එහෙම සෝෂල් මීඩියා කාලය ලිමිට් කළහම, ඒකෙන් ලැබෙන වාසි ඇස්පනාපිට දැකගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි බලමු කොහොමද සෝෂල් මීඩියා සීමා කරන්නේ කියලා!

 

මේක ඉතින් සෝෂල් මීඩියා ඇඩික්ෂන් එක පාලනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසි විදියක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපේ ෆෝන් එක ගත්තොත්, අපි ෆේස්බුක් නිරන්තරයෙන්ම ලොග් වෙලානේ ඉන්නේ. එතකොට නිකම් ෆෝන් එක අතට ගත්තහම එක ටච් එකෙන් ෆේස්බුක් එකේ. ආන්න ඒ තත්ත්වය තමයි නැති කරගන්න ඕන. ෆේස්බුක් ඇප් එකෙන් ලොග් අවුට් වෙන්න. පාස්වර්ඩ් ඔටෝ මතක තියාගෙන ඉන්න ෆීචර් එක එහෙමත් අයින් කරන්න. එතකොට ආයෙ ෆේස්බුක් යනකොට පාස්වර්ඩ් ගහලා ලොග් වෙලා යන්න ඕන. ඒක හෙනම වැඩක්. ඒ නිසා හිතෙන හිතෙන වෙලාවට වන් ටච් සෝෂල් මීඩියා යන එක අඩු වෙයි.

 

ලොග් අවුට් වීමෙන් පාලනය කරන්න අමාරු තරමට වැඩේ දුරදිග ගිහිල්ලා නං, ටික කාලෙකට සෝෂල් මීඩියා වලින් අයින් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒකට ඕන නං එකවුන්ට් ඩිඇක්ටිවේට් කරන්නත් පුළුවන්. හැබැයි එකවුන්ට් ඩිඇක්ටිවේට් කළත් නැතත්, ෆෝන් එකේ තියෙන සෝෂල් මීඩියා ඇප්ස් නං ඩිලිට් කරලා දාන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉතින් සෝෂල් මීඩියා එකකට යන්න නං, ඇප් ස්ටෝර් එකට ගිහින්, ඇප් එක ආයෙ ඩවුන්ලෝඩ් කරලා, ලොග් වෙලා යන්න ඕනනේ. ඒක සෑහෙන්න දිග ප්‍රොසෙස් එකක් නිසා මේ ඇබ්බැහිය තව ටිකක් දුරට පාලනය වෙයි.

 

මේක නම් ඇත්තටම හැම කෙනෙක්ම පිළිපදින්න ඕන කාරණාවක්. ප්‍රතිපත්තියක් විදියට තමන්ගේ ස්මාට්ෆෝන් එක නිදන කාමරයට යනකොට ගෙනියන්නෙ නැතුව ඉන්න එක. මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ අර නිදන්න කලින් ඔහේ ෆෝන් එක ඔබ ඔබා ඉන්න පුරුද්ද නැති කිරීම. ෆෝන් එකෙන් නම් එලාම් එක තියන්නේ, ගන්න හොඳ පරණ තාලේ එලාර්ම් ඔරලෝසුවක්. නිදන්න කලින් මලක් කඩන්න ඕන නම්, මල කඩලා ෆෝන් එක ගෙනිහින් නිදන කාමරෙන් පිට තියලා නිදාගන්න එන්න. මේක ඉතින් විනය ගරුකව කරන්න ඕන වැඩක්.

 

පොමොදෝරෝ ටෙක්නික් එක ගැන ඇත්තටම අපි ලිපි ගණනාවකම පෙන්නලා දීලා තියෙනවා. පොමොදෝරෝ ටෙක්නික් එකේ තියෙන වැදගත්කම, වාසිය ඇත්තෙන්ම කියලා නිම කරන්න බැරි තරම්. අන්න ඒ නිසා තමයි අපි ඒ ගැන ආයෙමත් කියන්නේ. පොමොදෝරෝ ටෙක්නික් කියන්නේ තමන්ගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න පුළුවන් ක්‍රමයක්. ඔන්න අපි විනාඩි විසිපහක් එක දිගට වැඩ කරනවා. මේ විනාඩි විසිපහ ඇතුළෙදි ෆෝන් එක අතට ගන්නවත් තහනම්. වැඩ කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ. සෝෂල් මීඩියා වලට යන්න තියා චූ දාන්න යන්නවත් බෑ. හැබැයි විනාඩි විසිපහට පස්සේ විනාඩි පහක බ්‍රේක් එකක් ගන්න පුළුවන්. අන්න ඒ වෙලාවට චූ දාලා, පොඩ්ඩක් නැගිටලා ඇවිදලා කරලා ඇවිත්, සෝෂල් මීඩියා වල මොනවද වෙලා තියෙන්නේ කියලා බලලා ආවට කමක් නෑ. හැබැයි සෝෂල් මීඩියා යන්න විනාඩියකට වඩා ඉතුරු වෙන එකක් නෑ. විනාඩි පහේ බ්‍රේක් එක ඉවර වුණහම තව විනාඩි කීපයක් ගන්නත් බෑ. කෙලින්ම ඊලඟ වැඩ කරන විනාඩි විසිපහට සෙට් වෙන්න ඕන! මේකට ඕන නම් Tide වගේ ඇප් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here