Google search engine
Home ගොසිප් පුවත් හංවැල්ලේ දරු දෙදෙනා ප්‍රාණ ඇපයෙන් බේරාගත් පැය නවයේ එස්.ටී.එෆ් මෙහෙයුම

හංවැල්ලේ දරු දෙදෙනා ප්‍රාණ ඇපයෙන් බේරාගත් පැය නවයේ එස්.ටී.එෆ් මෙහෙයුම

0
12

hanwella-incident

අරක්කැමියෙකු සහ කොණ්ඩා කපන්නෙකු ලෙස සේවය කළ ඔහු තම අවශ්‍යතාවයට අත්බෝම්බ හසුරවන ආකාරය පිළිබඳව යූටියුබ් අන්තර් ජාල මෘදුකාංගය හරහා ඉතා මැනවිත් ඉගෙන ගෙන පසුව මිතුරෙකු මාර්ගයෙන් අදාළ අත්බෝම්බය මිලදී ගෙන, ඔහු බිරිය අල්ලා ගැනීමට නොහැකි වූවිට තම ලෙයින් උපන් දරු දෙන්නා ප්‍රාණ ඇපයට ගෙන බිරිය නොදුන්න හොත් දරුවන් මරා දමන බවට තර්ජනය කරද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය පැය නවයක බිහිසුණු මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරාගත් පුවතක් හංවැල්ලෙන් වාර්තා විය.

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ කුලී පදනම මත පදිංචිව සිටි තම බිරිය ඝාතනය සඳහා සැමියා පැමිණ තිබිණි. අගුළු ඉවත් කළ අත්බෝම්බයක් අතැතිව සිටි නිසාවෙන් සැකකරු රැදී සිටි කාමරය වෙත දොරවල් කඩා ක්ෂණිකව කඩා පැන දැඩි බිහිසුණු පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකා සෙබළු සමත් වූහ.දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටියදී සැකකාර පියා විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බවට වාර්තා වීමත් දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.සැකකරු එන්නත් කළ බව කියන එන්නත අඩංගුව තිබූ සිරින්ජර දෙකක්ද අදාළ සැකකරු දරුවන් ප්‍රාණ ඇපයට ගෙන සිටි කාමරය තුළ තිබියදී හමුවී ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට යැවීමට කටයුතු කර තිබුණි.

එහිදී වැඩිමහල් දස හැවිරිදි දියණියට පමණක් කිසියම් දෙයක් එන්නත් කර ශරීර ගත කර ඇතැයි අනාවරණය වී ඇති බැවින් කුඩා ළදරුවා යළි මව සමග පිටත් කොට දියණිය පමණක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට සාමාන්‍ය තත්වයෙන් රෝහලෙහි අංක 01 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇයට එන්නතක් ලෙස ශරීර ගතවී ඇතත්

එම එන්නත කුමන වර්ගයට අයත් ද යන්න පරීක්ෂණ කටයුතු සිදු කරමින් බවතින බවද හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ සැකකරු සිය බිරිඳ හා අමනාපව වරින්වර වෙනත් ප්‍රදේශවලට යාම සහ විදෙස් ගත වීම සිදු කර ඇති බවත් දෙදෙනා අතර නිරන්තරයෙන් අඩදඹර ඇතිවීම සහ වෙනත් හේතූන් නිසාවෙන් බිරිඳ දරුවන් සමග හංවැල්ල ජල්තර ප්‍රදේශයේ පිහිටි මෙම රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිට ඇතැයි ද පොලිසිය පවසයි. මෙම සැකකරු මෙවර මාස තුනකට පසු ඩුබායි රාජ්‍යයේ රැකියාවක නිරතව සිට යළි පැමිණීමෙන් පසු බිරිඳ වෙනත් ස්ථානයක දරුවන් සමග පදිංචිව සිටීම නිසා උරණ වී බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සොයා බලමින් සිටියදී මෙම නිවාස සංකීර්ණයේ සිටින බවට ලද තොරතුරක් මත නිවාසවලට භාණ්ඩ සපයන කුරියර් ආයතනයක නියෝජිතයෙකු ලෙස පැමිණ නිවාස සංකීර්ණයේ නිවාස ගණනාවකටම ගොස් බිරිඳව සොයා ඇති බවත් එලෙස සොයා යන අවස්ථාවේදී තම දරුවන් දෙදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටිනු දැක එම දරුවන් ද සමගින් නිවාස සංකීර්ණයේ බිරිඳ සිටින නිවාසය වෙත ගොස් ඇති බවද සිදුකළ මූලික සාක්ෂි විමර්ශනයේදී අනාවරණය වූ බවද හංවැල්ල පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී තම දරුවන් දෙදෙනා සමග සැමියා පැමිණෙන ආකාරය සහ ඔහුගේ අත අත්බෝම්බයක් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වූ කාන්තාව දරුවන් දෙදෙනා කාමරයට තල්ලු කර දමා වහා එම ස්ථානයෙන් පලා ගොස් ඇත.තමන් ඝාතනය සඳහා පැමිණි බිරිඳ පලා යාම පිළිබඳව උරණ වූ සැකකරු තම දස හැවිරිදි දියණිය සහ එක් වසරක් සහ මාස අටක් වයසැති පුතා ප්‍රාණ ඇපයට ගනිමින් දරුවන් දෙදෙනා සමග තමන්ද අත්බෝම්බය පුපුරුවා ගනිමින් දිවි හානි කර ගන්නා බවද සැකකරු විසින් අසල්වාසීන්ට තර්ජනය කර තිබුණි.ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත හංවැල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සුජිත් ඕල්ටර් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සොයා බැලීමේදී තත්වය ඉතා භයානක බැවින් ඉහළ නිලධාරීන් දැනුවත් කොට බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමේ සහයෝගය ලබාගැනීමට කටයුතු කර තිබුණි.

එම අවස්ථාවේදී තිබූ තත්වය ඉතා බැරෑරුම් බවට තේරුම් ගත් නිලධාරීන් මෙය ඉතා සංකීර්ණ තත්වයක් බවත් එක වරදකින් ජීවිත තුනක් හෝ ඊට වැඩි ගණනකට හානි විය හැකි බව සිතා බෝම්බ නිෂ්ක්‍රීය කටයුතු සඳහා වර්තමාන ලංකාවේ සිටිනු ලබන දක්ෂතම නිලධාරියෙකු වන බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව හසල අත්දැකීම් ඇත්තකු වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතාව මෙම මෙහෙයුම සඳහා යොමු කර තිබුණි.හදිසියේම නිවාස සංකීර්ණය තුළ ඇති වූ මෙම තත්වය පිළිබඳව නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෝ ද තිගැස්මට ලක්ව සිටියහ. සැකකරු අත්බෝම්බය සමග සිටි ගොඩනැගිල්ලෙහි පදිංචිකරුවන්

පළමුවෙන්ම එම ස්ථානයෙන් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කළ ආකාරය දක්නට ලැබුණි.

මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් අදාළ ස්ථානයට ළගා වනවිටත් සැකකරු දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත්බෝම්බයේ අගුලු ඉවත් කර තිබූ අතර පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා ඉතා කාරුණිකව සැකකරු සමග අදහස් හුවමාරු කර ගනිමින් අගුළු ඉවත්කර තිබූ අත්බෝම්බයෙහි යළි අගුළු දැමීමක් සැකකරු ලවාම සිදු කර ගන්නට සමත් විය.පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා විසින් පැය නවයක් තිස්සේ සැකකරු සමග සාකච්ඡා කරමින් දැඩි ලෙස ආයාචනා කරමින් දැනුවත් කරමින් සැකකරුට දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට පැමිණෙන ලෙස ඉල්ලීම් සිදුකළ ආකාරය එම ස්ථානය ආසන්නයේ සිටි කාහටත් දැකගත හැකි විය.

එහෙත් එම ඉල්ලීම්වලට සවන් නොදුන් සැකකරු දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන තමන්ට එම ස්ථානයෙන් ඉවතට යා නොහැකි බවත් බිරිඳ ගෙනවිත් දෙන ලෙසත් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ඉටු කිරීම නිලධාරීහු ප්‍රතික්ෂේප කළහ. තමන්ට එම ස්ථානයෙන් තනිව ඉවත්ව යාමට බයක් දැනෙන බැවින් තම නීතිඥයා සමග ඉවත්ව යා හැකි බවත් ඔහු රැගෙන එන ලෙසත් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර එම අවස්ථාවේදීම නිලධාරීන් විසින් දුරකතනය හරහා අදාළ නීතිඥයා සම්බන්ධ කරදීමට කටයුතු කළත් ඔහු පැමිණීමට නොහැකි බව දැනුවත් කළ බව පොලිස් නිලධාරීහු සැකකරු වෙත දැනුම් දෙනු ලැබූහ.

මෙම තත්වය මත දිගින් දිගටම නිලධාරීන් සහ සැකකරු අතර සාකච්ඡා සිදුවූවත් සැකකරු පිටතට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගටම සිදු විය. දරුවන් ප්‍රාණ ඇපයට තබා ගෙන සිටි නිවසේ කාමරය තුළ ලෑලි දුරට අමතරව යකඩ බට යොදා සෑදූ තවත් දොරක්ද තිබූ අතර එම දොර නිසාවෙන් නිලධාරීන්ට එක්වරම කාමරය තුළට යාමට නොහැකි තත්වයක් ඇතිව තිබූ බැවින් දරුවන්ගේ ආරක්ෂාව පතා අදාළ ලෑලි දොර නොවසන ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා කිහිපවරක්ම සැකකරු ගෙන් ඉල්ලීම කරන ආකාරය ද මෙහිදී දක්නට ලැබුණි. මෙම අවස්ථාවේදී සැකකරු විසින් එක්වරම ලෑලි දොර වසා දැමීම නිසාවෙන් නිලධාරීන් මහත් කලබලයට පත් වූ අතර එහි රැස්ව සිටි ජනතාවද කිසිවක් සිතාගත නොහැකිව එකිනෙකාගේ මුහුණු බලාගත්තේ දැන් කුමක් සිදුවිය හැකිදැයි සිතාගත නොහැකිවය.සැකකරු දොර වසා දැමීම තම වාසියට යොදාගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එක්වරම ක්ෂණිකව මෙහෙයුමක් දියත් කොට සැකකරු සිටි කාමරයේ දොරවල් කඩා දමා සැකකරු මෙල්ල කර අත්විලංගුදා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර, ඒ අතරතුර අනෙක් නිලධාරීන් විසින් දරුවෝ දෙදෙනා නිරුපද්‍රිතව වහාම පිටතට ගැනීමට කටයුතු කරනු ලැබූහ.

සැකකරු සතුව තිබූ අත්බෝම්බය විනාශ කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත බාරදීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.පසුව අත්අඩංගුවට ගත් සැකකරු හංවැල්ල පොලිසිය වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කළේය. මෙවැනි ඉතා සංවේදී අවස්ථාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා යන අය ඉතා සංයමයෙක් උපක්‍රමශීලීව කටයුතු කළ ආකාරය එම ස්ථානයට රැස්ව සිටි ජනතාව ඉතා ඉහළින් අගය කරනු ලැබූ ආකාරය ද දක්නට ලැබුණි.අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත චෝදනා හතරක් යටතේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
(කේ. බුද්ධික කුමාරසිරි)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here